Thursday, October 24, 2024
Follow Us
ලංගම අක්‍රමිකතා වැළැක්වීමට උපරීම ක්‍රියාමාර්ග 

අක්‍රමිකතාවයට දායක වන සියලු දෙනාටම කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් ලබාදීමට  කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී පැවති  වැඩසටහනකදී  ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීම පිළිබඳ  මාධ්‍යවේදීන්  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 

"ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලනයට පාලනය කළ නොහැකි තරමට ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් දිනපතා එහි ආදායමෙන් විශාල ප්‍රමාණයක් බෙදාගැනීම පුරුද්දක් බවට පත්ව තිබෙනවා.

ලංගම වැටලීම් ඒකකය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා දිනපතාම මගීන් විශාල පිරිසකට ප්‍රවේශපත් ලබා නොදීමෙන්  ලක්ෂ සියයකට අධික මුදලක් ආයතනයට අහිමි වන බව පෙනී ගොස් තිබෙනවා.

මෙම අක්‍රමිකතාවය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර, එහි එක් පියවරක් ලෙස ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීමට පියවර ගත්තා.

එළඹෙන සතිය වන විට ලංගම ප්‍රාදේශික වශයෙන් ජංගම වැටලීම ඒකක 12ක් ස්ථාපිත කරන්නට මා සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික දේපල සොරකමක්‌ වන මේ තත්ත්වය පිළිබඳව පොලිස්පතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි.

සෑම ගමන් වාරයකදීම විශාල මුදලක් මේ ආකාරයෙන් සොරකම් කිරීම තුළින් කිසිසේත්ම ආයතනය ගොඩ ගැනීමට නොහැකි වන බව වෘත්තිය සමිති ඇතුළු අනෙකුත් සියලු දෙනාටමත් දැනුම් දී තිබෙනවා.”