Thursday, October 24, 2024
Follow Us
ඉදිරියේදී සහල් හිඟයක් ඇති වන්නේ නැහැ- කෘෂිකර්ම ඇමැති

නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවනු ඇති බවත් පසුගිය මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලැබීම ද ඊට හේතුවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (19) ප්‍රකාශ කළේය.

දිවයිනට බලපෑ නියඟය හේතුවෙන් මේ වනවිට අක්කර පනස් දහසක පමණ වගා හානියක් සිදුවෙතැයි අනුමාන කළ හැකි බවත් එසේ වුවත් අස්වනු නෙලා අවසන් කළ කුඹුරු රැසකින් ඉහළ අස්වැන්නක් ද ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අධ්‍යයන මගින් සනාථ වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර යල කන්නයේ හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක වී වගා කර තිබේ.

අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් සංවිධානය කරන ලද ජාතික ක්ෂේත්‍ර දිනය මෙදින එම වී පර්යේෂ්‍ණායතනයේ දී පැවැති අතර ඊට ප්‍රධාන ආරාධිතයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගි විය.
අම්බලන්තොට වී පර්යේෂණායතනයේ පර්යේෂණ කුඹුරුවල යල කන්නයේ අස්වනු නෙලීම ද ඊයේ ආරම්භ විය.
මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම අදහස් පළ කළේය.
දැනට සහල් හිඟයක් ඇති වෙතැයි බියක් තබා ගත යුතු නැති අතර දැනට රට තුළ පවතින වී සහ සහල් තොග ලබන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇත. නමුත් රජය සතුව අමතර සහල් හෝ වී තොග (Buffer stock) නැත. දැනට සියලු වී තොග පවතින්නේ පුද්ගලික අංශයේයි. වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කළ ද ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමෙන් වැළකී සිටිති.
එමනිසා ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳ පොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. පුද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙවර යල කන්නයේ දී උඩවලවේ කලාපය තුළ හානියට පත් කුඹුරු සියල්ලම ඉහළම අස්වැන්නක් ලබා දෙන කුඹුරු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ක්ෂේත්‍ර දිනය වැඩ සටහනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.