Thursday, October 24, 2024
Follow Us
ලංකා ඉතිහාසයේ දුම්රිය ගමන් මග වෙනස් වන දිනය

මිහින්තලය ආර්ථික නගර සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


අනුරාධපුරයේ සිට මිහින්තලේ හන්දිය හරහා මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් දහතුනක පමණ මාර්ගය මෙලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.සංවර්ධනය කෙරෙන දුම්රිය මාර්ගය එළඹෙන වසරේ පොසොන් පොහොය වන විට ඉදිකිරීම් අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් වුනේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමත් සමඟ මිහින්තලයෙන්. මේ ප්‍රදේශය, උන්වහන්සේ අපට හඳුන්වා දුන් බෞද්ධ දර්ශනය සමඟ රටේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වශයෙන් බොහෝ වෙනස්කම් ඇතිකළ පින් බිමක්.
මහින්දාගමනයෙන් පසුව මේ රට වෙනස් වුනා මෙන්ම, මෙදා ලංකා ඉතිහාසයේ දුම්රිය ගමන් මග වෙනස් කිරීම මෙදින ආරම්භ කරනවා.
1993 දී පමණ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේදී අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා දුම්රිය මාර්ගය ආරම්භ වුවත්, එය පොසොන් පෝය සමයේදී පමණක් ගමන් කරන දුම්රිය මාර්ගයක් බවට පත්ව කලකට පසුව එය ද අතහැර දමා තිබෙනවා.
රටේ සම්පත් ඵලදායි නොවන ආකාරයකට භාවිතා කිරීම පිළිබඳව උදාහරණයක් බවට මෙම දුම්රිය මාර්ගය පත්ව තිබුණා. රටක් සංවර්ධනය කළ හැක්කේ මහජන මුදල් වඩාත් ඵලදායි ලෙස සංවර්ධනයට යොදා ගැනීමෙන් පමණයි.
ඓතිහාසික අනුරාධපුර නගරයේ මෙන්ම විසල් නගරයක් මිහින්තලයේ නිර්මාණය කරන්නට අප සැලසුම් කළා. එහිදී උතුර, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් තුනම සම්බන්ධ කර ගනිමින් නිෂ්පාදන රැස් කොට, සකස් කොට, ආනයන අපනයන ක්‍රියාවලියට දායක කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සැලසුමක් අප සතුව තිබුණා.
විදේශ වලින් මෙරටට ආනයනය කරන සියලුම කාණ්ඩවල භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර රථ යාපනය ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වලට මේ මහා මාර්ග හරහා ගමන් කරන්නේ විශාල තදබදයක් පවා ඇති කරමින්.නමුත් බොහෝ දියුණු රටවල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ දුම්රිය. ඒ අනුව අනාගත ශ්‍රී ලංකාව තුළ කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන කන්ටේනර් දුම්රිය මගින් මිහින්තලේ ප්‍රදේශයේ ආනයන කරුවන්ගෙන් ගබඩාවලට රැගෙන ඒමට කටයුතු කරනවා. එතැන් සිට වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් ඔස්සේ අනෙකුත් පළාත් වලට ප්‍රවාහනය කිරීමේ සැලසුමක් සකස් කරනවා. එමෙන්ම උතුර, උතුරුමැද හා නැගෙනහිර පළාත් වල නිෂ්පාදනය කරන ද්‍රව්‍ය එක් රැස් කර, අගය එකතු කිරීමෙන් අනතුරුව අපනයනය සඳහා සූදානම් කරන අපනයන සැකසුම් කලාපය ලෙස මිහින්තලය ප්‍රදේශය භාවිතා කිරීමටත් කටයුතු කරනවා. තොග හා සිල්ලර භාණ්ඩ හුවමාරුව, පර්යේෂණ හා අත්හදා බැලීම් සිදු කරමින් නැවත වරක් අනුරාධපුර ප්‍රදේශයේ පැවති අතිශය දියුණු විසල් නගරයක් බිහි කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ගමන ආරම්භ කරනවා.
එහි ආරම්භක අදියර ලෙස ඉතා අබලන් තත්ත්වයේ පැවති මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණ ව්‍යාපෘතියේදී ඉවත් කෙරෙන භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් ඉතාමත් අඩු පිරිවැයකින් මෙම දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු කිරීමට කටයුතු කර තිබෙනවා. එය රජයට බරක් නොවෙමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සිදුකෙරෙන ඉතාමත් පිරිමැසුම්දායි ව්‍යාපෘතියක්.
මිහින්තලය හන්දිය දක්වා කිලෝමීටර් එකහමාරක පමණ කොටස ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය වනවා. එතැන් සිට මිහින්තලය දක්වා වන ඉතිරි කොටස සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරනවා.
රජයක් වශයෙන් මේ මොහොතේ අප උත්සාහ කරන්නේ කළ හැකි, කළ යුතු දේ වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමටයි.අත්හැරදමා ඇති සම්පතක් ජාතියේ ප්‍රගමනය උදෙසා යොදා ගැනීම තුළින් මිහින්තලය විසල් නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යෑමට සියලු දෙනාගේ ම දායකත්වය හිමි වනු ඇති බව මා විශ්වාස කරනවා."