Thursday, October 24, 2024
Follow Us
සාදික්කා වගාවට කොළ හැලීමේ දිලීර රෝගයක්

දිලීර රෝගයක් හේතුවෙන් ලංකාවේ ප්‍රදේශ කිහිපයක සාදික්කා වගාව අවධානමක ලක් ව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙම දිලීර රෝගය වැළදුනු විට සාදික්කා ගසේ කොළ හැලීමට ලක් වන බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා, රෝගය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට වගාකරුවන් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවද පැවසුවේය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කළේ සාදික්කා වගාවේ කොළ හැලීමේ දිලීර රෝගය පිිළිබද වගාකරුවන් දැනුවත් කිරීම සදහා රෝගය පිළිබද වගාකරුවන් දැනුවත් කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවකට එක් වෙමිනි. මහනුවර අලවතුගොඩ දිප්පිටිය හා කොනකලගල යන ප්‍රදේශවල වගා වගාකරුවන්ගේ සාදික්කා වගාවන් මෙහිදී නිරීක්ෂණයට ලක් කෙරුණි.
සුළඟ සහ වර්ෂාව මගින් මෙම දිලීර රෝගය ව්‍යාප්ත වන අතර, රෝගය වැලදුනු විට ගසෙහි ගුණාත්මක තත්ත්වය අඩුවී අස්වැන්න අඩුවී , ‍ක්‍රමයෙන් ගස මිය යෑම සිදුවේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය ඉසීම හා ගසට රසායනික ද්‍රව්‍ය එන්නත් කිරීම නිර්දේශ කර තිබේ. ගසට ඉසීම සදහා මැන්කොසෙප්ට් රසායනිකය නිර්දේශ කර ඇති අතර, එන්තත් කිරීමට නිර්දේශ කර ඇත්තේ ටෙබකනසෝල් රසායනයකියයි
රසායනික ද්‍රව්‍ය භාවිතයට අමතරව, ක්ෂේත්‍රයේ නඩත්තු කටයුතු තුළින්ද මෙම තත්ත්වය යම් තරමකට සමනය කළ හැකි බව පැවසූ අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරී ජයන්ත ශාමල් මහතා, දිලීරය වැළඳී ඇති පත්‍ර ,ශාඛා අතු සහ ඵල අනිත් ශාක වලින් වෙන්කර පුළුස්සා දැමීම සිදු කිරීම වැදගත් බව පෙන්වා දෙන ලදී.
මේ වන විට මෙම දිලීර රෝගය මහනුවර ,කෑගල්ල, මාතලේ හා රත්නපුර යන දිස්ත්‍රික්ක වල සීග්‍රයෙන් පැතිරයන බව පැවසූ ජයන්ත ශාමල් මහතා රෝගය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් සහ සහාය තම දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවද පැවසුවේය.
මේ අවස්ථාව සඳහා ඉඩම් හිමියන් හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ