Thursday, October 24, 2024
Follow Us
සා/පෙළ විභාගය 10ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලේ

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් එම වසරක කාලය ආපස්සට ගෙන යළි 10 ශ්‍රේණියේ දී ම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනීයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

එමෙන්ම මෙම කාර්යය එක වර කළ නොහැකි අතර 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෂේඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක යටතේ සිදු කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය ඇති දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසූවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.