Thursday, October 24, 2024
Follow Us
පොළොන්නරුවේ ගිනි තැබීමකින් විනාශ වූ නිවස කඩිනමින් ඉදිකිරීමට ඇමති උපදෙස්

නිවස ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදලින් රුපියල් ලක්ෂ හත හමාරක ආදාර මුදලක්.

පොළොන්නරු, දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ පසුගිය 07 වැනිදා ගිනි තැබීමකින් විනාශයට පත් වූ නිවස යළි ඉදිකිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදලින් රුපියල් ලක්ෂ හත හමාරක මුදලක් එම පවුල වෙත ලබා දීමට නියමිත බවත් එහි ඉදිරි කටයුතු එම අධිකාරිය මැදිහත් වී සිදු කර දීමට අපේක්ෂා කරන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.

පොළොන්නරුව, දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ කටු මැටි නිවසකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් එම නිවස විනාශයට පත්ව ඇති බවට පසුගියදා මාධ්‍ය හරහා වාර්තා කර තිබුණි.

එහි සඳහන්ව තිබුණේ මව, පියා සහ දරුවන් තිදෙනෙකුගෙන් යුතු මෙම පවුලට සමෘද්ධි ආධාර පවා නොලැබෙන බවත්, ගින්නෙන් නිවසේ තිබූ භාණ්ඩ, ඇදුම් පැලදුම්, පොත්පත් ඇතුළු සියළුම දේ විනාශයට පත්ව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි පදිංචි මානෙල් ප්‍රනාන්දු මහත්මිය මනම්පිටිය පොලිසියටද පැමිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් මනම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.


ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම නිවස ඉදිකිරීමේ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති රජීව් සූරියආරච්චි මහතා,
“පොළොන්නරුව, දිඹුලාගල, බෝගස්වැව පදිංචි මානෙල් ප්‍රනාන්දු මහත්මියගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි බත් වෙලා කියලා අපට වාර්තා වුණා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාරතුමාගෙන් අපි වාර්තාවක් ලබා ගත්තා. ගේ ගිනි තැබීමක් ලෙස මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිතුමාගෙනුත් අවශ්‍ය තහවුරුව අපි කරගෙන තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා අපට
උපදෙස් ලබා දුන්නා මේ පවුලට යම් උදව්වක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා සිදු කරන්න කියලා. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදලින් රුපියල් ලක්ෂ හතහමාරක ආධාරයක් එම නිවාස නැවත ගොඩනැගීම සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙවැනි සිද්ධීන් ලංකාව පුරා වාර්තාවන අවස්ථා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විදියට යම් අපහසුතාවයකට, ගැටළුවකට මැදිහත්වෙච්ච ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා සහනයක් ලබා දෙන්නත් ඒ ගැටළුවට විසදුම් ලබා දෙන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.” යනුවෙන්ද පැවසීය.