Thursday, October 24, 2024
Follow Us
බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක්

බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද (11) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා රැඳවියන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය .

වැඩිදුරටත් අදහස් දැක් වූ අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සඳහා බන්ධනාගාර ගත වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වෙනම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.තවද රිමාන්ඩ් ගත වන රැඳවියන් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශ වල වෙනම ස්ථානයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයිද හෙතෙම කීය. දැනට දකුණ සහ බස්නාහිර පළාත් වල මෙම ස්ථාන පිහිටුවීමේ තීරණ ගෙන අවසන් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

අපිට බන්ධනාගාර වල ඉඩ තිබෙන්නේ රැඳවියන් 13,000 පමණයි. නමුත් 29,000කට අධික ප්‍රමාණයක් මේ විට ඉන්නවා.ඔවුන් සඳහා පවතින ඉඩ ප්‍රමාණවවත් නැහැ.
සමස්ථ බන්ධනාගාරගතවූවන්ගෙන් වැඩිම පිරිසක් සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගතවූවන්, ඒ අතරින් වැඩිපිරිසක් සිටින්නේ බස්නාහිර, සහ දකුණු පළාත කේන්ද්‍රකරගෙනයි.

ඔවුන් නැවත පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ ප්‍රදේශ වල රිමාන්ඩ් බන්ධනාගාර ගත වූවන් වැඩි පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඒ ඒ දිස්ත්‍රික්ක වල රිමාන්ඩ් බන්ධාරගත කරන ස්ථාන සකස් කිරීමේ සම්බන්ධයෙන් සොයා බලනවා.

වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් ජයසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මහා භාණ්ඩාගාරයේ කිසිදු මුදලක් නොගෙන හොරණ ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි.

බස්නාහිර පළාතේ තිබෙන වටිනාකම වැඩිම වාණිජ වටිනාකමක් තිබෙන භූමි ප්‍රමාණය තමයි වැලිකඩ බන්ධනාගාරය තිබෙන්නේ.බන්ධනාගාරය මෙම ස්ථානයෙන් ඉවත් කර
මෙම ඉඩම වාණිජ වටිනාකමක් ඇති ඉඩමක් බවට පත් කළ හැකි නම් හොඳයි කියන තැන අපි ඉන්නවා. ඒ අනුව හොරණ අක්කර 200ක ඉඩමක් ලබා ගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ මුදල් වියදම් නොකර හොරණ බන්ධනාගාරයඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් තීන්දුව අරගෙන අවසන්''යැයි පැවසීය.