Thursday, October 24, 2024
Follow Us
මුලතිව් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා යුද හමුදාවෙන් නව නිවාස

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සබඳතාවයන් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලෙසින් මේ වනවිට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්‍ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස 207 ක් ඉදිකර එම පවුල් වෙත පවරා දී තිබේ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ මගපෙන්වීම සහ පරාර්ථකාමී උත්සාහය මත මේ වනවිටත් එවැනි පවුල් 4 ක් වෙනුවෙන් නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතී. මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් වර්ෂ 2009 සිට 2023 දක්වා කාලය තුළ මෙම නව නිවාස ඉදිකර දී ඇත.

මෙම නිවාස වැඩසටහන තුළින් මුලතිව් ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ පවුල්වල වැසියන්ගේ ජීවිතවල කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති අතර යුද්ධ හමුදාවේ කැපවීම තුළින් එම පවුල්වල වැසියන්ගේ දිවිය නැවත ගොඩනඟා ගැනීමට සහ දීප්තිමත් අනාගතයක් උදාකරගැනීමට මංපෙත් විවරවනු ඇත.


මුලතිව් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අවශ්‍යතාවයන් ඉටුකරමින් ඔවුන්ට යහපත් හෙට දවසක් උදාකර දීමට යුද්ධ හමුදාව දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරනු ලබන අතර රට තුළ ජනවාර්ගික සහජීවනය, සංහිඳියාව සහ සාමකාමී පරිසරයක් උදාකරලීමේ අධිෂ්ඨානයෙන් යුතුව මෙම වැඩසටහන්හි නිරතව සිටියි.


මුලතිව් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන් මුහුණ දෙන බහුවිධ අභියෝගවලට මුහුණදීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධාන, මානුෂීය ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම්වල සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙත නව නිවාස ඉදි කරදීමේ ව්‍යාපෘතීන්හි නිරත වෙයි.