Thursday, October 24, 2024
Follow Us
සමනළවැවෙන් ජලය නිකුත් කිරීම ගැන සාකච්ඡාවක්

අනපේක්ෂිත වැසි රහිත කාලගුණික තත්ත්වය නිසා කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන් නිකුත් කිරීමට සහ විදුලිබල උත්පාදනයට සිදුවන බලපෑම කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වීණි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යඅධිකාරී, විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ නිලධාරීන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් මෙම සකච්ඡාව ඊයේ පැවැත්විණි.

අඛණ්ඩව විදුලිබල සැපයීමක් ලබා දීම සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව සහ අනපේක්ෂිත කාලගුණික වෙනස්කම් අතරතුර පවා ඒ වෙනුවෙන් ලබාගත හැකි විකල්ප පියවර ලබාගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර විසින් පැහැදිලි කරන ලදී. එඑමෙන්ම අඛණ්ඩව විදුලිබල ලබාදීම සදහා විදුලිබල මණ්ඩලය පූර්ව සූදානමකින් පසුවීම අත්‍යවශ්‍ය හෙයින්, කාලගුණික වෙනස්වීම් නිසා උද්ගතවන තත්වයන් සම්බන්ධයෙන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද අවශ්‍යතාවයන් කඩිනමින් ලබාගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

එමෙන්ම විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන කෘෂිකාර්මික දිවිපෙවතක් ගතකරන මහජනතාව, පවතින වැසි රහිත කාලගුණික තත්වය හේතුවෙන් පත්ව ඇති පීඩාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, එම මහජනතාවට තම කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ජලය ලබාදීමේ අත්‍යාවශ්‍යතාවය සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කරන ලදී.

අනපේක්ෂිත වැසිරහිත කාලගුණික තත්වය යටතේ අඛණ්ඩව විදුලිබලය ලබාදීමට හා කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාදීමටත් , පානීය අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නිකුත් කිරීමටත් හැකියාව සොයාබලා ඒ සදහා වන විකල්ප යෝජනා හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එම යෝජනා සියල්ල අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට අද සවස ඉදිරිපත් කරන ලදී.