Thursday, October 24, 2024
Follow Us

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලාමුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඕලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීම ඊයේ (03) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.


උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානයන්හි මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර තිබෙන අතර “සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ මෙය ක්‍රියාත්මකයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය සහ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව එක්වයි.
මේ යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4 ක් සහ කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කර තිබේ. ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් මිලියන 205 ක්.
මෙහි පළමු අදියර යටතේ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන 25 ක් ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2000 ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතිනවා.
නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කෙරෙන අතර නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද ඉවත් කරයි.