Thursday, October 24, 2024
Follow Us
ලෝක මවුකිරි දීමේ සතිය ඇරඹෙයි

මව්කිරි දීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මව්කිරි දීම සහ එහි වාසි පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 01 සිට 07 දක්වා ලෝක මව්කිරි දීමේ සතිය සමරනු ලබයි.

මේ සම්බන්ධයෙන් දැනුවත්කිරීම සඳහා අද (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි.

මෙවර ලෝක මව්කිරි දීමේ සතියේ තේමාව වශයෙන් “වැඩට යන දෙමාපියන්ට සහනදායී වෙනසක් - මව්කිරි දෙන්න සවියක්” යන්න යොදාගෙන ඇත.

2023 ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම වසරේ තේමාවට අනූව ලොව පුරා දෙමාපියන්ට රැකියාවේ නියැලෙන අතරතුර මව්කිරි දීම සඳහා දිරිමත් කිරීමටත්, අනුබල දීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා වලට සහාය වීමට රජයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සේවා ස්ථාන සහ ප්‍රජාවන්ගේ වගකීම පිළිබඳවද මෙහිදී අවධානයට පාත්‍ර විය.

ඉපදී පළමු පැය තුළ ඉක්මණින්ම දරුවාට මවුකිරි දීම ආරම්භ කිරීම, පළමු මාස 06 තුළ දරුවාට අවශ්‍ය වන සෑම විටකම මවුකිරි පමණක් ලබාදීම මෙන්ම වයසට නිසි අමතර ආහාර සමග වයස අවුරුදු 02ක් හෝ ඊට වැඩි කාලයක් මවුකිරි ලබාදීම වැදගත් වන බව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.