Thursday, October 24, 2024
Follow Us
අතරමං වූ අලි පැටියෙකුට ප්‍රතිකාර

මැඩියාව වෙල්‍ යායේ අතරමංව සිටි මාස තුනක  පමණ වයසැති වන අලි පැටියකු ආරක්ෂිතව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දීමට මහව වනජීවී බීට්ටු කාර්යාලය කටයුතු කර තිබේ.

මැඩියාව වැව ආශ්‍රිතව මේ දිනවල වන අලි සැරිසරන අතර වෙල්යායට වන අලි රංචුවක් සමඟ පැමිණ සිටි මෙම වන අලි පැටියා තනිව සැරිසරන දුටු ගම්වාසීන් වනජීවී කාර්යාලයට මේ බව දන්වා තිබේ.

අද (2) උදෑසන 6.30 ට පමණ ගම්වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් අලි පැටවා ආරක්ෂිතව රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

වනජීවි කාර්යාලයට අයත් කැබ්‍ රථයේ පැටවා නංවාගෙන නිකවැරටිය පශු වෛද්‍යවරයා වෙත යොමු කිරීමට රැගෙන ගිය බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

වන සත්ව අඩවි සහකාර පී.එම්.යූ.එස්.පතිරාජ,වන සත්ව නියාමක එන්. පී සී. ඩබ්ලිව්. මඩදෙණිගම,වනජීවී නිලධාරි බණ්ඩාර,වනජීවි රියැදුරු කුමාර ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වන අලි පැටියා ආරක්ෂිතව රැගෙන එනු ලැබීය.

නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට භාර දුන් වන අලි පැටියා ආරක්ෂිතව නිරෝගීව සිටින බව පශු වෛද්‍ය නිලධාරී ඉසුරු හේවා කෝට්ටගේ මහතා සඳහන් කරයි.

බොහෝ වේලාවක් නිරාහාරව සිටි මෙම අලි පැටියාට සේලයින් ලබා දීමට කටයුතු කර තිබේ.

 

-Dinamina