Thursday, October 24, 2024
Follow Us
බිතුසිතුවම් වීඩියෝ හා ඡායාරූප සංරක්ෂණය කිරීමට සැලසුම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනට ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝ හා ඡායාරූප වශයෙන් ගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

මෙහි පළමු අදියර ලෙස කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරයට ලේඛන පිරිනැමීම සඳහා එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
බිතුසිතුවම් සංරක්ෂණය සඳහා මැදිහත්වීමේ ප්‍රමුඛතා ලේඛනයක් සැකසීම, සංරක්ෂණ කටයුතුවලදී අවශ්‍ය දත්ත ලබාගැනීම, මෙම ඓතිහාසික සිතුවම් ක්‍රමිකව හායනය වන බැවින් අනාගත පරපුරට දැකගැනීමට අවස්ථාව ලබාදීම, පර්යේෂකයන් හා විද්වතුන්ගේ පර්යේෂණ කටයුතුවලට යොදාගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ලේඛන තැන්පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙන බවත්, ඊට අමතරව බිතුසිතුවම් අඩංගු විහාරයට ඩිජිටල් පිටපතක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.