Thursday, October 24, 2024
Follow Us
ත්‍රිකුණාමලයේ නීති විරෝධී ධීවර කටයුතු නවතාලීමට විශේෂ සාකච්ඡාවක්

ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල නීති විරෝධී ලෙස ඩයිනමයිට් භාවිතයෙන් මසුන් මැරීම සිදුකරන බව බොහෝ ධීවර සංගම් චෝදනා කරන අතර එය නතර කිරිම සදහා ගතයුතු වැඩ පිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා අතර පසුගියදා කොළඹදි පැවැත්විණි.

මෙහිදි අදහස් දැක්වු නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා පවසා සිටියේ තමන් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා ලෙස වැඩ ආරම්භ කිරිමත් සමග ප්‍රදේශයේ බොහෝ සිවිල් සංවිධාන තමන් සමග පළාතේ ගැටලු පිළිබද සාකච්ඡා කළ බවත්, බොහෝ පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පවතින ධීවර ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත් පැවසීය.

නීති විරෝධීව ඩයිනමයිට් භාවිතා කරමින් මුහුදු සම්පත් විනාශ කිරීම මෙන්ම වන සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කළ පසුගිය කාලයේ ජලජිවි වගාව සිදු කල ප්‍රදේශ බොහොමයක් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව හා වන ජිවි දෙපාර්තමෙන්තුව විසින් එම ඉඩම් අත්පත් කර ගෙන ඇති බවද එම ප්‍රදේශ නැවත ධීවර කටයුතු වලට යොදා ගැනිමේදි බාධා එල්ලවි ඇති බවත්, එය කඩිනමින් විසදා ගැනිමට කටයුතු කළයුතු බවද අණ්ඩුකාරවරයා අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන ලදී.

මෙහිදි අදහස් දැක් වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නැගෙනහිර පළාත තුළ පමණක් නොව උතුරු පළාත තුළ ද නීති විරෝධී ධීවර කටයුතු සිදු කරන බවත්, ඒවා මැඩලිමට තමන් දැනටමත් ධීවර දෙපාර්තමෙන්තුවේ නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශවල නිලධාරින්ව දැනුවත් කර ඇති අතරම මේ වන විට එසේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වු බොහෝ පිරිසක් අත්ඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද පැවසිය.

තවද මෙම ප්‍රදේශ වල පසුගිය කාලයේ පැවති යුධමය වතාවරණය හමුවේ කලපු හා කැලෑ ප්‍රදේශ වන සංරක්ෂණ කලාප ලෙස වෙන්කර ගනිමින් කටයුතු කර තිබු අතර වර්තමානය වන විට එම ප්‍රදේශ ජලජිවි වගාවට නිදහස් කර ගැනිමට වන සංරකෂණ දෙපාර්තුමෙන්තුව යම් පසුගාමිත්වයක් පෙන්නුම් කරන බවත්, තමත් මේ පිළිබඳ අමාත්‍යවරිය සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡා කර ඇති අතරම ඉදිරියේදි එම ඉඩම් නිදහස් කර උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ ජලජීවි වගාව සිඝ්‍ර ලෙස සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ධිවර දෙපාර්තුමෙන්තුවේ අධ්‍යකෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.