Friday, October 25, 2024
Follow Us
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත ජාතික සභාවේ අනු කාරක සභාවට

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙසේ මෙම සංකල්පීය ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කිරීම සිදු කෙරිණි.

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කොට තිබුණු අතර මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා එම ක්‍රියාකාරී කමිටුව මාස අටක පමණ කාලයක් රැස්විය. වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, වන හා සංරක්ෂණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, ඇතුළු විවිධ අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එක්ව මෙම සංකල්පීය ප්‍රතිපත්තිය සකස් කර ඇත.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මධ්‍යා කාලීන සහ දිගුකාලීන අදහස් රාශියක් එහි අඩංගු වේ.

මේ අනුව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව ජාතික සභාවටත් ඒ හරහා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන බව කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එසේම ඉන්පසු, ආයතන ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ දැනුවත් කිරීම හා අවශ්‍ය නීතිමය සංශෝධන සම්බන්ධයෙන් ද ඉදිරියේ දී කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.