Friday, October 25, 2024
Follow Us
මෙහෙකාරකමට විකිණූ දැරිය අභිරහස් ලෙස මරුට

රුපියල් 25,000ක මාසික කුලියකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17ක දැරියකගේ සිරුරක් හමුවී තිබුණි.

ඇයගේ සිරුර අදාළ නිවසේ තිබී සොයාගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේය.

යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල් අඩි ප්‍රදේශයේ නිවසක සිටි 17 හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නමැති දැරිය මෙලෙස මියගොස් තිබුණි.

අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ආර්ථික ශක්තියක් නොමැති නිසා ඇයගේ මව විසින් යාපනයේ නිවසක මෙහෙකාරකමට ඇයව ලබාදී ඇත. 

මාසික කුලිය වශයෙන් ඇයට රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට පොරොන්දුවී තිබුණත් ඇයට මාසයකට රුපියල් 5,000 ක මුදලක් පමණක් නිවසේ හිමිකරු විසින් ලබාදී ඇති බවද හෙළිවී තිබේ.

මවට දරුවා බැලීමට යෑම පවා තහනම් කර ඇති හාම්පුතා දුරකථනය ඔස්සේ මසකට විනාඩි 03ක කාලයක් පමණක් මවට කතා කිරීමට අවස්ථාව ලබාදී ඇත.

මාස 04කට පමණ පසුව එසේ දුරකථනයෙන් කතා කිරීමටද ඉඩක් ලබානොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැත.

අවසානයේදී ඇය මියගොස් ඇති බවට පණිවුඩයක් දැරියගේ මවට ලැබීමෙන් පසුව මරණය පිළිබඳව තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලීසියට ප්‍රකාශ කොට තිබුණි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් මහතා එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී මියගිය දැරියගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්‍ෂකවරයා වෙත යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-Aruna