Friday, October 25, 2024
Follow Us
ලෝක මිහිකත විවාහක රූ රැජින කිරුළ දිනූ සෂ්මි දිවයිනට

ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත්  අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය ඊයේ (26) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ලෝකයේ රටවල් 45 ක තරගකාරියන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන්  පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 07/17 සිට 07/22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා තිබුණි .

එහිදී සෂ්මි දිසානායක මහත්මිය මෙම තරගාවලියේ අනු තරගාවලි 04 ක් ජය ගනිමින් මෙසේ ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කර තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී සෂ්මි දිසානායක මහත්මිය මාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කළාය .

මට හරි සතුටුයි මගේ මේ ජයග්‍රහණය පිළිබඳව . මේ නිසා මගේ රට උසස් තැනකට රැගෙන යන්න මට පුලුවන් උනා . මම මේක තනියෙන් ආපු ගමනක් නෙමෙයි . මගේ මේ ජයග්‍රහණයට රුක්මාල් සේනානායක ගුරුතුමාත් , ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණරත්න සහ නිෂ්පාදක ඉසුරු ගුණසේකර යන මහත්වරුන් උදව් කළා . ඒ වගේම මගේ දෙමාපියන් සහ මගේ සැමියාත් බොහෝ සේ උදව් කළා .

මම ගොඩක් මහන්සියෙන් මේ ප්‍රතිඵලය අත් කර ගත්තෙ . මට මේ තරගාවලියේ දී  ගොඩක් අභියෝග තිබුණා. තවත් බොහෝ ‍රටවල ලස්සන , දක්ෂතා වලින් පරිපූර්ණ කාන්තාවන් ඉදිරිපත් වී සිටියා . යැයි ද පැවසීය .

මගේ ඉදිරි කටයුතු සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා මගේ වැඩි අවදානයක් යොමු කරන බව ද පැවසීය .

එසේම දැනටමත් විදේශීය රටවල් රාශියකින් මෙම ක්ෂේත්‍රයේ විවිධ වැඩසටහන් සදහා ආරාධනා ලැබී ඇති බවත් ඇය මාධ්‍ය හමුවේ අනාවරණයක් ද සිදු කළාය .

එසේම මෙම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් සිය සැගවුණු දක්ෂතා භාවිතා කරමින් රටට කීර්තිය ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද පැවසුවාය .