Friday, October 25, 2024
Follow Us
රුපියල් කෝටි 21ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

රුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ  කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ  නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) සවස අත් අඩංගුවට ගෙන ඇත.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ , මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කළ අතර , එහිදී කිලෝ ග්‍රෑම් 33 ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා   කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයා ගෙන මෙම පුද්ගලයන් ද සමග  අත් අඩංගුවට ගෙන තිබුණි .

ඉන්පසුව ඔවුන්ගෙන් ලද වැඩිදුර තොරතුරු මත , මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින් , කොළඹ , පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ” ශබ්ද වාහිනී ” පද්ධති අලෙවි කරන වෙළඳ  සැළක් තුළ තිබී රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ ග්‍රෑම් 100 ක් පමණ අත් අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන් සමත් වී තිබුණි .

ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම කෘතිම මත්ද්‍රව්‍ය කුඩු , කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ” සාද” පවත්වන අවස්ථා වලදී භාවිතා කිරීම සඳහා යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, එම උසස් පොලිස් නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් , කොළඹින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනා කොළඹ , කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් ඉදිරිපත් කර , රැදවුම් නියෝග ලබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය .

Dinamina