Friday, October 25, 2024
Follow Us
"සිලම්බම්" ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට පියවර ගැනේ

"සිලම්බම්" ක්‍රීඩා වැඩසටහනක් පසුගියදා නුවරඑළියේ දී පැවැත්විණ.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහි දී හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා "සිලම්බම්" ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ක්‍රීඩාවක් බවට පත් කර දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර එම ක්‍රීඩාව ලියාපදිංචි කර සංගම් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම ක්‍රීඩාව සඳහා එම නම සෑදී ඇත්තේ කඳු යන අර්ථය ඇති දෙමළ වචනය වන සිලම් යන්නෙන් සහ කේරළයේ කුරින්ජි කඳුකරයේ විශේෂිත උණ බම්බු වර්ගයක් හේතුවෙනි.

සිලම්බම් ක්‍රීඩාවේ ප්‍රධාන අවිය උණ බම්බු වන අතර මීට පෙර ආත්මාරක්ෂාව සඳහා සහ සතුන් පළවා හැරීම සඳහා භාවිත කර පසුව වර්තමාන සටන් කලාව දක්වා පරිණාමය වන්නට ඇති බව විශ්වාසයයි.

මීට වසර ගණනාවකට පෙර ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙස පැවති "සිලම්බම්" නවීන අවි ආයුධ පැමිණීමත් සමඟ අභාවයට ගිය ද, වර්තමානයේ දී එය ක්‍රීඩාවක් ලෙස රටවල් කිහිපයක ව්‍යාප්තව පවතී.