Friday, October 25, 2024
Follow Us

ලංකාවේ අධිකරණවල නඩු එකොලාස් ලක්ෂ විසි හත් දහසක් තිබෙන බවත් පසුගිය වසර හය තුළ සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැහෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.


තිස් තුන්වන ජාතික සමථ දින සැමරුම් උත්සවය ජුලි 18 වන දිනට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් වු විශේෂ සැමරුම් උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා
"අපේ රටේ සමථ ක්‍රමයේ ප්‍රගතිය පිළිබදව අපි අතිශයින් සතුටු වෙනවා. 1988 සිට මේ වන විට වසර තිහකට වඩා වැඩි කාලයක් සමථ මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වුණා. අපි 2015 වසරේදී සමථ මණ්ඩල ක්‍රමය විධිමත් කළා. ඒ අනුව එහි මුල්‍ය සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට ලක්ෂ පහක් දක්වා ගෙන එනු ලැබුවා. මේ වන විට මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් දක්වා වැඩි කර තිබෙනවා. 2015 වන විට සීයයට 47 ක්ව පැවති සමථ මණ්ඩල වෙත යොමු වන ආරවුල් විසදීමේ ප්‍රතිශතය මේ වන විට සීයයට 70 ක් දක්වා වැඩිවීම සතුටු දායකයි. අද මුළු ලෝකයම සමථකරණ සංකල්පයට යොමුව තිබෙනවා. අපේ රටේ කොමිෂන් සභා පිළිබදව සුභවාදී ආකල්පයන් ජනතාව තුළ නොමැති වුවත් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කටයුතු අපි අගය කළ යුතුයි. ඒ නිසා සමථ ක්‍රමය තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.
අපේ රටේ මහාධිකරණවල නඩු 29700 ක් පවතිනවා. ඉන් 9800 ක් ඒ කියන්නේ සීයයට 33 ක් ස්ත්‍රි දුෂණ සහ ළමා අපචාර සම්බන්ධ නඩුයි."