Friday, October 25, 2024
Follow Us
අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස සංකීර්ණ 6ක්

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණි.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීමයි.


ඒ අනුව අදාළ ව්‍යාපෘතිය මගින් තෝරාගත් අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන් ව්‍යාපෘතිය හරහා ගොඩනඟන මහල් නිවාස සංකීර්ණ 6ක නිවාස ඒකක 4074ක පදිංචි කිරීමට සැලසුම්කර ඇත.
දැනට ජනතාව පදිංචිකර ඇති මහල් නිවාසවල විදුලිසෝපනල ගිනි නිවන උපකරණ ආදිය ගලවා ඒවාට දැඩි හානි පමුණුවා ඇති බව එහිදී හෙළිවිය.


එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මහල් නිවාසවල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවත් ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා, අධ්‍යාපන නිලධාරීන්, ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධවූවන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළයුතු බවත්ය.
එවිට නිවාස සංකීර්ණවල පදිංචිකරවීමට නියමිත අඩු ආදායම්ලාභී ජනතාව සම්බන්ධයෙන් පෙර අවබෝධයක් ලබාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.


එමෙන්ම මහල් නිවාසවල පදිංචිව සිටින ජනතාවට මෙම වසර ඇතුළත හිමිකම් ඔප්පු ලබාදීම අවසන් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස්. සත්‍යානන්ද මහතා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.