Friday, October 25, 2024
Follow Us

‘අස්වැසුම’ සුබසාධක දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒවා සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කිරීමට නියමිතය.

එම සුබසාධක යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වූ විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව පෙරේදා (10) අවසන් වූ අතර ඒ සම්බන්ධයෙන් අභියාචනා 968,000ක් සහ විරෝධතා 17,500ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා පවසා ඇත්තේ මෙම දීමනා ලබා දීමට අවශ්‍ය සියලු පාර්ශ්වයන් හඳුනා ගනිමින්, ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවයි.

අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණ ඇතිව රජය ආරම්භ කළ ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම විනිවිදභාවයකින් සිදු වන අතර මේ සම්බන්ධයෙන් වන තොරතුරු පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා පත් කරන ලද තේරීම් කමිටුව මඟින්, අස්වැසුම සුබසාධක දීමනා අපේක්ෂිත ප්‍රතිලාභීන් ලබාදුන් තොරතුරුවල නිරවද්‍යතාව සත්‍යාපනය කිරීමේ කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව ‘අස්වැසුම’ යෝජනා ක්‍රමය යටතේ සියලු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මේ මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබිණි.

සුබසාධක ප්‍රතිලාභ ලබා ගන්නා පිරිසට පහසුවෙන් හඳුනාගත හැකි විනිවිදභාවයෙන් යුතු වන, තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මත, මෙම සුබසාධක දීමනා ලබා දීම සහතික කරන බව ද ලැයිස්තුවේ ඇතුළත් කර ඇති නම් හෝ ඇතුළත් කළ යුතු නම් සම්බන්ධයෙන් විරෝධතා හෝ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලයක් ලබා දුන් අතර ඒ අනුව, එම තොරතුරු අනුව තීරණ ගැනීමට කටයුතු සලසා තිබෙන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට අයදුම්කරුවන් ලක්ෂ 33කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙන අතර මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය ද ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙයි.

මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ද අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් එළඹෙන ජූලි මස 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතයි.

දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැඟින් ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැඟින් ද ලබාදීමට පියවර ගෙන ඇත. සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබී තිබේ.