Friday, October 25, 2024
Follow Us
බලපත්‍ර නොමැති නම් නීතිය දැඩිව ක්‍රියාත්මකයි

මාර්ග බලපත්‍ර නොමැතිව, අවිධිමත් සහ අයථා ලෙස ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙිමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගියදා, මනංපිටිය බස්රථ අනතුරින් මිය ගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇතුළු ,මියගිය අයගේ පවුල්වලට සිය කණගාටුව පළ කරන බවද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය. රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් , මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පූර්ණ වාර්තාවක් සකස්කරන ලෙස තමා, ජාතික ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බවද හෙතෙම පැවසීය

මෙම බස් රථය නියමිත බලපත්‍රයක් ලබා නොගෙන ධාවනය කර තිබෙනවා. මෙම බස්රථ හිමියා ට මීට පෙරද රුපියල් දස දහසක දඬයක් නියම කර තිබෙනවා.ඊටත් පස්සේ තමයි මෙම වැරැද්ද කර තිබෙන්නේ. උතුරු නැගෙනහිර හා මාධ්‍යම පළාතේ බලපත්‍ර රහිතව වාහාන ධාවනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සඳහා සක්‍රීය ලෙස දායක වෙමින් ඒ සඳහා මැදිහත් වෙන ලෙස තමා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී බලපත් නොමැතිව ගමන් කිරීම සඳහා අයකරන රුපියල් දස දහසේ දඩය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කරන ලෙස නීතිපතිවරයා වෙත දන්වා තිබෙනවා. ත්‍රී රෝද රථ, පාසල් වෑන් රථ . කාර්යාල ප්‍රවාහන පහසුකම් සපයන වාහන නියාමනය කිරීමේ බලය ජාතික ගමනා ගමන කොමිසමට ලබා දීමට සහ දඬ මුදල් විශාල ලෙස වැඩි කිරිමට නීතිපතිවරයාට යවා තිබෙනවා. උතුරු, සහ උතුරු නැගෙනහිර පළාත් වල බලපත්‍ර නොමැතිව බස්රථ විශාල ප්‍රමාණයක් ධාවනය වන බව වාර්තා වෙනවා.බලපත් නොමැතිව ගමන් කරන වාහන වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වලටද උපදෙස් ලබා දී තිබෙනවා.