Friday, October 25, 2024
Follow Us
බිරියගේ හොර සැමියා මරා හැංගුණු උප ලුතිනන් හය වසරකට පසු අල්ලයි
  • අත්අඩංගුවට ගනිද්දී කෝටිපති ව්‍යාපාරිකයෙක්
  • එකම පුතාට මුහුණ නොපෙන්වා සියලු වියදම් එවලා

ආණමඩුව, තෝනීගල ප්‍රදේශයේ ආපණ ශාලාවක් තුළදී බිරියගේ අනියම් සැමියා මරා දැමූ යුද හමුදාවේ උප ලුතිනන්වරයකු අදාළ ඝාතනය සිදුකර වසර හයකට පසු ඊයේ (07) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනී කඳවුරේ සේවය කළ උප ලුතිනන්වරයෙකි.

අත්අඩංගුවට ගත් උප ලුතිනන්වරයා අදාළ ඝාතනය සිදු කරන සමයේ සිට යුද හමුදා සේවයෙන් පලා ගිය තැනැත්තෙකු බව පොලිසිය පවසයි.

අදාළ හිටපු උප ලුතිනන්වරයා පොල්පිතිගම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු බවත් පසුව නිකවැව මොරගොල්ලාගම පදිංචියට පැමිණ ඇති බවද පවසයි.

මෙම හිටපු උප ලුතිනන්වරයා කලින් විවාහයෙන් නීතියෙන් වෙන්ව දෙවන විවාහයක් සිදු කරගෙන සිටි බවත් දෙවන විවාහයේ බිරියගේ අනියම් සැමියා මෙසේ ආණමඩුව, තෝනීගල ප්‍රදේශයෙදී සිය බිරිය සමඟ ආපණ ශාලාවක් තුළදී 2017 වසරේ මාර්තු 26 දින ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තියුණු ආයුධයකින් ඇන අදාළ තැනැත්තාට දරුණු තුවාල සිදුකර ඝාතනය සිදුකර ඇත.

එම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ ආණමඩුව, තෝනීගල කුමාරගම පදිංචි සේනාධීරගේ දුමින්ද ප්‍රදීප් නැමැති පුද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කළ එවකට 36 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙකු බව පවසයි.

ඝාතනයට ලක්වූ තැනැත්තා සමඟ මෙම උප ලුතිනන්වරයාගේ බිරිය අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් තිබේ. එය නවතා දැමීමට අවස්ථා කිපයකදී මෙම උප ලුතිනන්වරයා දැඩි වෙහෙසක් ගෙන තිබූ නමුත්, බිරිය දිගින් දිගටම මෙම අනියම් ඇසුර පවත්වාගෙන යාම ඉවසා ගැනීමට නොහැකිව කෝපයෙන් පසුවී ඇති බවත්, ඒ අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසි පරීක්ෂණවලදි හෙළිව තිබේ.

අදාළ ඝාතනය සිදු කිරීමෙන් පසුව අදාළ ආපණ ශාලාවේ සිටි පිරිස් හා ප්‍රදේශවාසීන් විසින් මෙම ප්‍රධාන සැකකරු අල්ලා ගෙන පහර දී තිබූ බවත් පොලිසිය පැමිණීමත් සමඟ පලා ගොස් ඇති බවටත් සඳහන් වේ.

මෙම ඝාතනය නොවිසිඳුණු අපරාධයක් ලෙස පොලිස් පොතේ සටහන්ව තිබියදී ආණමඩුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල් (76743) වර්ණසූරිය යන නිලධාරියා දුරකතන විශ්ලේෂණ හා අනිකුත් කරුණු රැසක් සම්බන්ධයෙන් දිර්ඝ කාලයක් සිදුකළ විමර්ශනයෙන් පසුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මෙම ඝාතනයෙන් පසු මෙම සැකකරු කොළඹ ප්‍රදේශයට පලා ගොස් සිට ඇති බවත් එහිදී කුලී වැඩ ඇතුළු රැකියාවන් රැසක් කරමින් මුදල් උපයාගෙන පසුව හොරණ, බුලත්සිංහල අතුර ප්‍රදේශයේ විවිධ රැකියාවන් සිදු කරමින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස රහසිගත නමකින් පෙනී සිට ඇත.

අදාළ ඝාතනයෙන් පසුව මෙම හිටපු උප ලුතිනන්වරයා කිසිදු අයකුට සැක නොසිතන අයුරින් වෙනත් නමකින් පෙනී සිටිමින් ව්‍යාපාර රැසක් සිදුකර ඇති බවත්, එයින් උපයාගත් මුදලින් ඉඩම් හා වාහන රැසක් හිමි ධනවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රදේශයේ නමක් දරා සිටි පුද්ගලයකු ලෙස පෙනී සිටි ඇත.

අදාළ ඝාතනයෙන් පසු මෙම සැකකරුගේ බිරිය රහසේ විදේශ ගතව ඇත.

ඒ සමඟම මෙම සැකකරුට සිටි එකම දරුවා තම මවුපියන් භාරයේ රඳවා උසස් අධ්‍යාපන කටයුතුවලට නිසි ලෙස යොදවා ඇති බවත්, කිසිම අවස්ථාවක දරුවා බැලීමට පවා මෙම සැකකරු ගොස් නොමැති බවත්, දරුවාගේ සියලු කටයුතුවලට මුදල් යොදමින් දරුවා ඉහළට රැගෙන යාමට කටයුතු කර ඇති බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.

ඒ සමඟම මෙම සැකකරු තම එකම දරුවාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට යොමුකර ඇති බවත් ඒ සඳහා ලක්ෂ 26කට ආසන්න මුදලක් යොදවා ඇත්තේද ප්‍රසිද්ධියේ පෙනී සිටීමකින් තොරව බවත් පවසයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පුතාට මෙම සැකකරුව හඳුනා ගැනීමට පවා හැකිවී නොමැති බවත්, පියා හා පුතා දෙදෙනා අතර සම්බන්ධතාවය වසර හයක් පුරා සිදුව ඇත්තේ දුරකතනයෙන් පමණක් බව පවසයි.

අත්අඩංගුවට ගත් මෙම යුද හමුදා හිටපු උප ලුතිනන්වරයා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Dinamina