Friday, October 25, 2024
Follow Us
රක්වාන හෝටලයේදී දිවි නහගත් තරුණියගේ පෙම්වතා සහ හෝටල් හිමිකාරිය අත්අඩංගුවට

රක්වාන පොලිස් වසමට අයත් මාදම්පේ, පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ පෙරේදා (04) සවස තරුණියක ගෙල වැලලා ගෙන මියගොස් ඇතැයි රක්වාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ රක්වාන, පුංචිබාරවත්ත, ස්ටබිඩන් වතුයායේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නමැති විසි දෙහැවිරිදි අවිවාහක කාන්තාවකි.


රක්වාන ඩෙල්වින් වතුයායේ පදිංචි විසිතුන් හැවිරිදි තරුණයකු සමඟ මියගිය තරුණිය මෙම ලැඟුම්හලට සිද්ධිය වූදා පස්වරු 1.30ට පමණ ගොස් ඇත. අනතුරුව මොවුන් දෙදෙනා එහි රැඳී සිටියදී සවස හතරට පමණ පෙම්වතියට කෑම පාර්සලයක් රැගෙන ඒමට බව පවසා තරුණයා ඔහුට අයත් ත්‍රිරෝද රථයකින් පිටතට ගොස් විනාඩි දහයකින් පමණ පසු නැවත පැමිණි අවස්ථාවේ කාමරයේ දොර වසා තිබී ඇති අතර, කිසිදු ශබ්දයක් නැති නිසා හෝටල් හිමිකාරිය සමඟ පිටුපස ජනේලයක් කඩා කාමරයට ඇතුළු වී ඇත. ඒ වන විට මියගිය තරුණිය ඇය ඇඳ සිටි සල්වාර් පටියෙන් නාන කාමරයේ ජනෙල් උළුවස්සේ ගෙල වැලලාගෙන සිටි බැවින් ඇය ලිහා බිමට ගෙන හෝටල් හිමිකාරියගේ ද සහාය ඇතිව ත්‍රිරෝද රථයක් මගින් කහවත්ත රෝහලට රැගෙන ගිය බවත් ඇයගේ පෙම්වතා යැයි පවසන සැකකරු පොලිසියට පවසා තිබේ.
තරුණියගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයා සහ හෝටල් හිමිකාරිය රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ අපරාධ ස්ථානීය පරීක්ෂණය රක්වාන වැඩබලන මහේස්ත්‍රාත් සරත් විජේගුණවර්ධන මහතා විසින් (05) දින පැවැත් වු අතර, මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේදී කිරීමට නියමිතව ඇතැයි ද පොලිසිය කියයි.
රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරි මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමපාල, පොලිස් සැරයන් අලහකෝන් විජේරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-Dinamina