Friday, October 25, 2024
Follow Us
මුතුරාජා අද පෙරවරුවේ තායිලන්තය බලා ගමන් අරඹයි

තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබූ මුතුරාජා හස්තියා යළි තායිලන්තය බලා රැගෙන යාම සඳහා මේවනවිට එම හස්තියා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ හස්තියා රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයේ සිට විශේෂ රථයකින් එම සත්ත්වයා ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි.

ඊයේ රාත්‍රි 12 ට පමණ හස්තියා රැගත් විශේෂ රථය දෙහිවල සත්වෝද්‍යානයෙන් පිටත්ව ඇති අතර එම රථය අළුයම 03 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වී තිබෙනවා. අනතුරුව හස්තියා යොමු කර සිටින විශේෂ කූඩුව එම සත්ත්වයා තායිලන්තය වෙත රැගෙන යාම සඳහා පැමිණ ඇති රුසියාවට අයත් විශේෂ ගුවන් යානයට යොමු කරවීම ආරම්භ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම ගුවන් යානය අද උදෑසන 07 යි 30 ට පමණ කටුනායක ගුවන් තොටුපළින් තායිලන්තයේ ෂියන්මායි ගුවන් තොටුපළ වෙත රැගෙන යාමට නියමිතයි.

2001 වසරේදී තායිලන්තය විසින් මුතු රාජා හස්තියා මෙරටට පරිත්‍යාග කර තිබුණා. එහෙත් එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් එම සත්ත්වයා යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය විසින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඉන් අනතුරුවයි අලුත්ගම කන්දේ විහාරයට භාර දී තිබූ මුතුරාජා, දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ඒමට මෙරට බලධාරීන් පියවර ගනු ලැබුවේ.
එහිදී මුතුරාජාට වෙනත් අලි ඇතුන්ට ලබා දෙන සියලු ආහාර පාන මෙන්ම සත්කාර ද පසුගිය කාලය පුරා ලබා දුන් බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පැවසුවේ.

-Neth