Friday, October 25, 2024
Follow Us
සෑම පැය තුනකට වරක් ම අනතුරු නිසා පුද්ගලයින් 4 දෙනෙකුට ජීවිත අහිමි වෙයි

සෑම පැය තුනකට වරක් ම අනතුරු නිසා පුද්ගලයින් හතර දෙනෙකුට ජීවිත අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අනතුරු නිවාරණය හා ප්‍රථමාධාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක් වෙමිනි.
මෙරට ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව හදිසි අනතුරු වන බවත් අනතුරු හේතුවෙන් මෙරට වාර්ෂිකව 10 000- 12 000 ක් පමණ මිය යන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.මේ අනුව දළ වශයෙන් සෑම ශ්‍රී ලාංකික පස්දෙනෙක්ගෙන් එක් කෙනෙක් අවුරුද්දට සැරයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරකට මුහුණ දෙන බව සමිත සිරිතුංග මහතා මෙහිදී පැහැදිලි කළේය.
මෙලෙස අනතුරු නිසා ජිවීත අහිමි වන්නනගේ බහුතරය වන්නේ වයස අවුරුදු 15-44 අතර ආර්ථික වශයෙන් ඵලදායි වයස් කාණ්ඩයේ අය වීමත් මේ සඳහා ප්‍රතිකාර සඳහා අතිවිශාල මුදලක් වැය වීමත් යන කාරණා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම ද සුළුවෙන් තැකිය නොහැකි බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. එහෙත් මෙම අනතුරු පිළිබඳව අපගේ අවධානය අවම බවත් බුද්ධිමත්ව සැලකිල්ලෙන් කටයුතු කරන්නේ නම් අනතුරු බෙහොමයක් වළක්වා ගත හැකි බව ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා
“අනතුරු යනු මාර්ග අනතුරු පමණක් නෙවේ. නිවසේ වැඩපළේ මහමඟ නොයෙක් ආකාරයේ අනතුරුවලට මිනිසුන්ට මුහුණ පෑමට සිදු වෙනවා. ලංකාවේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් තමයි සතුන් සපා කෑම. ලංකාවේ වසරකට ලක්ෂ තුනක් සතුන් සපා කනවා. ඉන් 80% ක් විතර බල්ලන්ගේ සපා කෑම් . සාමාන්‍යයෙන් රජය විශාල මුදලක් වැය කරනවා මෙම එන්නත් කිරීම් සඳහා. එක් පුද්ගලයෙක් සඳහා එන්නත් 04 ක් ලබා දෙන්න වෙනවා. දරුණු සපා කෑමකට ඊට වඩා වියදමක් දැරීමට සිදු වෙනවා. අපේ අය අනවශ්‍ය විදහට අනතුරු කරගන්නවා. මේවා වළක්වා ගන්න පුළුවන්. ”
මෙවැනි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නේ නම් රජයට අතිවිශාල මුදලක් ඉතිරි වන්නේ යැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.