Friday, October 25, 2024
Follow Us
"පාසල් ව්‍යවසායකත්ව කව" ඇරඹේ

කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා පාසල් කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කරන ලද 'පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව' වැඩසටහනේ ජාතික උත්සවය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ දී ඊයේ (27) පැවැත්විණි.

ජුනි 22 සිට 28 දක්වා ක්‍රියාත්මක ජාතික කර්මාන්ත සතියට සමගාමීව රටේ ආර්ථික වර්ධනය උදෙසා ව්‍යවසායකත්ව නායකත්වයන් පාසල තුළින්ම හඳුනාගෙන ඔවුන් දිරිමත් කරමින් අනාගතයේ දක්ෂ ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය වන්නාවූ අඩිතාලම පාසලේ දී ම ලබා දීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණයි.
දිවයින පුරා වන පාසල් 10,146 ක් අතුරින් තෝරාගත් පාසල් 100 ක ජාතික උත්සවයට සමගාමීව පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වසර අවසානයේ එය පාසල් 300 ක් කරාත් 2024 අවසාන වනවිට එය පාසල් 3,000 ක් කරා රැගෙන යාමත් අපේක්ෂාවයි.
මෙහි දී 'පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ' නිල ලාංඡනය එළි දැක්වීම, සිසු මාර්ගෝපදේශන අත්පොත එළි දැක්වීම සහ කර්මාන්ත අමාත්‍යංශය, ලේක්හවුස් ආයතනය හා එක්ව එළි දක්වන 'පෙරට' සගරාවේ පළමු පිටපත අමාත්‍යවරයාට පිළිගැන්විය.
නාලන්ද විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනරු කරුණාරත්න ශිෂ්‍යයා විසින් මෝටර් රථ විෂය කොට ගත් නවෝත්පාදන සංකල්පයක් ද මෙහි දී ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.