Friday, October 25, 2024
Follow Us
සෞඛ්‍ය සේවාව  ගැන  ගැටලු සුව සවනට කියන්න

ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති.

එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවාලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හඳුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබඳවයි.

සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,

1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,

1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.. 

සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීම -සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය