Friday, October 25, 2024
Follow Us
facebook සාදයක් වටලයි

මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12දෙනෙකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදීයි මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධාන කර ඇති බවත් එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා මෙම සාදය සංවිධානය කර තිබූ බවත් පැවසේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගංජා යොදා සකස්කල දුම්රිය 11ක් ද සාදය සංවිධානය කළ හෝටලයේ හිමිකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් මත්පැන් බෝතල් 10 ක් බියර් ටින් 22 ක් සහ බියර් බෝතල් 12 ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

එසේම එම අවස්ථාවේදී ලබා දෙන ආහාරපාන ඉහල මිල ගණන් යටතේ අලෙවි කිරීමටද හෝටලයේ හිමිකරු කටයුතු කර තිබූ බවත් එය සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයක් පමණ මිල ගණන් බවද සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

අත් අඩංගුවට ගත් තරුණයන් අතර කහතුඩුව ප්‍රදේශයේ සිට පැමිණි තරුණයන් හත් දෙනකු ද බලංගොඩ ඇහැලියගොඩ අවිස්සාවේල්ල ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණයින් ද වේ.

-Dinamina