Friday, October 25, 2024
Follow Us
"Industry 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹෙයි

"Industry 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (22) ආරම්භ විය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන, වෙනත් රජයේ ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධාන කර ඇති මෙම ප්‍රදර්ශනය 28 වනදා දක්වා පැවැත්වේ.


ශ්‍රී ලංකාවේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 20 නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 750 කින් සමන්විත වේ.
කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම, දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් යන සියලු දෙනා ඒකරාශී කර ගැනීම, නව කර්මාන්තවලට විශාල අවකාශයක් නිර්මාණය කර ගැනීමටත් මෙම ජාතික ප්‍රදර්ශනය මඟින් අවස්ථාව උදාවනු ඇත.
තව ද තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය වැඩි කිරීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රමාණය වැඩිකිරීමටත් මේ තුළින් අවස්ථාව උදා වේ.
මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අභියෝග වලට මුහුණ දෙමින් කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට කාලය පැමිණ ඇති බවත්, කර්මාන්තකරුවන් දේශිය වෙළඳපලින් එළියට ගමන්කර ජ්‍යාත්‍යන්තර තරඟකාරීත්වයට මුහුණදිය යුතු බවත් එහි දී රජයක් ලෙස කර්මාන්තවලට මෙන්ම කර්මාන්තකරුවන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට සූදානම් බවත්ය.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ඉතාමත් අර්බුදකාරී කාලවකවානුවක් පසුකරමින් වුවද ඉතිහාසයේ ඉහලම අපනයන ආදායම ඉපයීමට 2021 /2022 වසර වලදී හැකිවූ බවයි.
ජාතික කර්මාන්ත දිනයට සමගාමීව කර්මාන්ත අරමුදල ක්‍රියාත්මක කිරීමත්, සමරු මුද්දරයක් නිකුත් කිරීමත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශන භූමියේ දී සිදුකෙරිණ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදේශ තානාපතිවරු, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, තැපැල්පති රුවන් සත්කුමාර, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, පුද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.