Friday, October 25, 2024
Follow Us
මහවැලි සංස්කෘතික සංචිත නිර්මාණයට සමගාමීව පුහුණු වැඩමුළුවක්

අධ්‍යාපන, සංස්කෘතික හා කලා ශිල්ප යන අංශයන් මූලික කරගනිමින් මහවැලි සංචිත නිර්මාණය කිරීමේ වැඩසටහනට සමගාමීව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගිය 15,16, 17 තෙදින හුරුළුවැව කලාපයේ දී පැවැත්විණි.

සෞන්දර්යයේ නිවහන වූ මහවැලි කේන්ද්‍රයේ වත්මන් අධ්‍යක්‍ෂ ඩෙනිස් ප්‍රනාන්දු මහතා විසින් මහවැලි සංකල්පයට අනන්‍ය වූ කලා කෞෂල්‍යයෙන් නිර්මාණ වී විසි එක් වන සියවසේ අභියෝග අතික්‍රමණය කිරීමට සමත් සුහුරු සහ නිර්මාණශීලී කලාකරුවන් නිර්මාණය කිරීම උදෙසා මෙම වැඩසටහනට මූලිකත්වය දී කටයුතු කරයි.
ඔවුන් සතු මානව හිතවාදී ගුණාංගයන් රෝපණය කිරීම, මතු කිරීම, වර්ධනය කිරීම හා ඔපමට්ටම් කිරීම යන සිව් වැදෑරුම් කාර්යයන් ඉටු කරමින්, මහවැලි මිනිසා නිර්මාණය කිරීමේ භාරදූර කාර්යභාරය ඉටු කිරීමේ මෙහෙවර අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මහවැලි සංස්කෘතික සංචිත නිර්මාණය කිරීමේ වැඩසටහන මහවැලි කලාපයන්හි අදියර කිහිපයක් යටතේ සාර්ථක ව ක්‍රියාත්මක කරමින් පවතී.
මෙහි දී මහවැලි නූපා නර්තන අංශය ද, මහවැලි සර ලෙස ගායන හා වාදන අංශය ද, මහවැලි රඟ කරළිය නාට්‍ය හා රංගන අංශය ද යන ඛාණ්ඩ යටතේ මහවැලි කලාපීය දරු දැරියන්ගෙන් අයඳුම්පත් කැඳවා, මූලික යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්‍ෂණයකට මහවැලි කලාපයන්හී දී යොමුකර එහි තෙවන අදියර ලෙස එම යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත් වූ පිරිස එක් එක් විෂය ක්‍ෂේත්‍රයන්ට අදාළව තෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකට යොමු කරනු ලබයි.