Friday, October 25, 2024
Follow Us
දීඝවාපිය සෑයේ ප්‍රතිසංස්කරණට දායකවීමට අවස්ථාවක් 

‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා  ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

පුරාණ ස්ථූප ශිල්පීන් විසින් භාවිත කළ පරිදි ස්ථූප ඉදිකිරීම් සඳහා නිශ්චිත සම්මත ගඩොල් නිෂ්පාදනය කිරීම සහ ව්‍යුහය පවත්වා ගැනීම සඳහා නිශ්චිත බදාමයක් තෝරා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කරන ලදී.

පූජනීය දීඝවාපිය රජමහා විහාර පරිශ්‍රය තුළ යෝජිත වීශ්‍රාම ශාලා, බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරයේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

වැඩ නිම කිරීමෙන් පසු ඇස්තමේන්තුගත උස අඩි 268 ක් වන මෙම ස්තූපය මේ වන විට චෛත්‍යයේ බිම් මට්ටමේ සිට ගර්භය කොටස දක්වා අඩි 57 ක උසක් දක්වා වැඩ නිම කර ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

අරමුදල්වල වත්මන් තත්ත්වය සහ අරමුදල් රැස්කිරීමේ මූලාශ්‍ර පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

බුදු රජාණන් වහන්සේ වැඩම කළ දීඝවාපිය බෞද්ධයන්ගේ පූජනීය සොළොස්මස්ථාන අතරින් පූජනීය පුරාණ ආගමික පුදබිමක් ලෙස සැලකේ.

ජෙනරල් ගුණරත්න මහතාගේ  මඟපෙන්වීම යටතේ ආරම්භ වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ධානපතියන්ගේ නොමසුරු ආධාරවලින් සපයාගනු ලබන අරමුදල්වලින් සැදි ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ මගින් කටයුතු සිදුකරනු ලැබීය.

‘නීලගිරි මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙම අවස්ථාවේදී ම ආරක්‍ෂක ලේකම්වරයා විසින් සොයා බලන ලදී. මෙම චෛත්‍යෙය් උස බිම් මට්ටමේ සිට අඩි 41 ක් දක්වා ඉහළ නංවා ඇති බව ද මෙහිදී  අනාවරණය විය.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ අදාළ රාජ්‍ය ආයතනවල අධීක්‍ෂණය යටතේ පූජා භූමිවල පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරමින් මෙම ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ

දීඝවාපිය සෑයේ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් දැක බලාගැනීමට දායකවීමට කැමති අයට පරිත්‍යාග ලබාදීම සඳහා www.deegawapiya.lk යන දීඝවාපිය වෙබ් අඩවිය හරහා විස්තර ලබාගත හැකි අතර වැඩි විස්තර සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හරහා හෝ 011 2430860-78 ඇමතීමෙන් ලබාගත හැක.