Friday, October 25, 2024
Follow Us
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසෙහි වැඩ කඩිනමින් අවසන් කරනවා - ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන 

කොළඹ අවිස්සාවේල්ල පරණ පාර (Low Level) මාර්ගයේ ඔරුගොඩවත්ත - අඹතලේ කොටස කඩිනමින් සංවර්ධනය කර වැඩ අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


කොලොන්නාව ආසනයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දැනට 85% වැඩ නිමවා ඇති කොළඹ සිට අවිස්සාවේල්ල මාර්ගයේ ඔරුගොඩවත්ත - අඹතලේ දක්වා කොටසේ ඉතිරි වැඩ කඩිනමින් නිම කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසු අමාත්‍යවරයා , මිතොටමුල්ල ඩිපෝව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකර අවශ්‍ය බස්රථ නවීකරණය කරමින් මිතොටමුල්ල ඩිපෝව දියුණු තත්වයකට පත් කරන බවත්, අක්කර පහමාරක් සහිත කොළඹ ඇති හොදම සහ ලොකුම ඩිපෝව බවට එය පත්කර ලාබ ලබන ආයතනයක් බවට වැඩි දියුණු කරන බවත් පැවසුවේය.
එසේම නව බස්රථ යොදවා මීතොටමුල්ල ඩිපෝව සහ අංගොඩ ඩිපෝව ඒකාබද්ධ කර සංවර්ධිත ඩිපෝවක් බවට පත් කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
කවුරු බලයට පත් වුවද ණය ප්‍රතිව්‍යුගත වෙනතුරු ආසියා සංවර්ධන බැංකුව සහ ණය ලබාදෙන ද්විපාර්ශ්වික රටවල් නැවත ණය ලබා දෙන තෙක් මාර්ග සංවර්ධනය කිරීමේ හැකියාවක් නැතැයි ද, “දේශපාලනඥයන්ට මුදල් නොමැතිව පාරවල් හදන්නත් බැහැ බොරු පොරොන්දු දෙන්නත් බැහැයි” ද කී අමාත්‍යවරයා ණය ප්‍රතිව්‍යුහගත කරනතුරු මාර්ග සංවර්ධනය නැවතී ඇති බව ද පැහැදිලි කළේය.
එනිසා ඇණහිට ඇති මාර්ග සංවර්ධනය ණය ප්‍රතිව්‍යූහගත කරන තෙක් මාර්ග පිළිසකර කිරීමට හෝ නැවත මාර්ග අලුතින් තැනීමට අවශ්‍ය මුදල් නොමැති බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
ඔරුගොඩවත්ත මාර්ග සංවර්ධනය සඳහා ණය ලැබෙන්නේ මෙතෙක් ණය ලැබීම් නතර නොවුණු ගල්ෆ් ණය ආධාර යටතේ බවත් එම නිසා එහි වැඩ කඩිනමින් අවසන් කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.