Friday, October 25, 2024
Follow Us
ගර්භාශයෙන් පිටත පිහිටි කලලයකින් සොයිසා රෝහලේදී සාර්ථක දරු උපතක්

ගර්භාශයෙන් පිටත පිහිටි දුර්ලභ ගණයේ කලල පිහිටීමකට සිසේරියන් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදු කිරීමට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (16) සමත් වී තිබේ.

ගැබිනි මවුවරුන් තිස් දහසකගෙන් එක් අයකු පමණ මුහුණ දෙන ඉතා දුර්ලභ ගණයේ දරු උපතකට මෙලෙස හිමිකම් කීවේ කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවකි. කින්නියා ප්‍රදේශයේ පදිංචි මේ මව මෙයට සති කිහිපයකට පෙර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත්ව ඇති අතර, එහිදී වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇත්තේ දරුවාගේ කලලය වර්ධනය වී ඇත්තේ ගර්භාශයෙන් පිට බඩවැල්වලට ඇලුණු වැදෑමහක බවයි. ඇය ත්‍රි‘මලය රෝහලට ඇතුළත් වන විට ඇගේ කලලයට සති 28ක් පිරී තිබුණු අතර, මෙය බැරෑරුම් මෙන්ම දුර්ලභ ගණයේ දරු උපතක් වන බැවින් සැත්කම සාර්ථකව කිරීමට නම් ඇය කොළඹ ද සොයිසා රෝහලට මාරු කළ යුතු බවට එම රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඒ අනුව මවගේ සති 28ක් වූ කලලය සති 34ක් දක්වා වර්ධනය වන තුරු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ද සොයිසා රෝහලේ නේවාසිකව රඳවාගෙන තිබේ.

කොළඹ ද සොයිසා රෝහලේ නේවාසිකව සිටි ඇයගේ දරු උපත සඳහා සිසේරියන් සැත්කමට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂණී ලියනගේ, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, කොළඹ ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ්, විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය එක් වී ඇත. වෛද්‍යවරුන් පවසන්නේ අලුත උපන් බිලිඳිය සහ මව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසු වන බවයි.

Dinamina