Friday, October 25, 2024
Follow Us
පාසල් සඳහා කර්මාන්ත ව්‍යවසායකත්ව කව නිර්මාණය ගැන දැනුවත් කෙරේ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටතුළ ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ' පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ' වැඩසටහනේ මූලික අදියර ලෙස ගුරුවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව ඊයේ (15 ) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ආරම්භ කෙරිණි.


ඒ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
අධ්‍යාපන අමාත්‍යාංශය ,කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහි මූලික අරමුණු වන්නේ ,ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලි හා ඵලදායි ලෙස දායක විය හැකි ව්‍යවසායකත්වය පෙර දැරිකරගත් සිසු පරපුරක් සමාජ ගත කිරීමට පාසැල් යොමු කිරීම , කර්මාන්ත බිහි කිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් සමස්ත රට තුළ ගොඩ නැඟිම , රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නකු නොව රටේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන රැකියා නිර්මාණය කරන්නකු පාසැල් තුළින් සමාජයට එක් කිරීම, සමාජයේ කවර හෝ පුද්ගල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබාදීම සඳහා ව්‍යවසායකත්ව නිපුණතා අත්පත් කර දීම සහ අභියෝග හමුවේ එයට ප්‍රතිචාර දක්වමින් එය තමාගේ වාණිජමය අවස්ථාවක් බවට පත් කරගත හැකි දෙපයින් නැඟී සිටින ශ්‍රී ලාංකිකයකු බිහි කිරීමයි.
එම අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පාසැල් 10,146 ක් අතුරින් සෑම දිස්ත්‍රික්කයක්ම , සෑම අධ්‍යාපන කලාපයක් ම ආවරණය වන ලෙස සිංහල, දෙමළ , මුස්ලිම් පාසැල් ද ඇතුළත් වන ලෙසට පාසැල් 175 ක ගුරුවරුන් මෙම දෙදින වැඩමුළුවට එක්කර ගෙන තිබේ. මෙම ගුරුවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම පාසල්වල ආරම්භ කරන කර්මාන්ත ව්‍යවසායකත්ව කව සඳහා 9 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ ඕනෑම විෂය ධාරාවක් හදාරන සිසුන්ට ස්ව කැමැත්තෙන් එක්විය හැකිවෙයි.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ දැනුම , කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරමින් ගොඩනගන වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදයක් රටට අවශ්‍ය වගේම එය ප්‍රායෝගිකව යෙදවීමත් අවශ්‍ය බවයි. එමෙන්ම කුමන විෂය ධාරාවකින් දරුවන් ඉගෙන ගත්තත් ඒවා ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයට ප්‍රායෝගිකව භාවිතයට ගැනෙන ලෙස ක්‍රියාත්මක කිරීමට නම් මෙම කර්මාන්ත ව්‍යවසායකත්ව කව හරහා වැඩි කාර්ය භාරයක් සිදුකළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
" ලෝකයේ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් අතරින් තායිලන්තයේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 27.%ක් , වියට්නාමයේ 16% ක් , බංග්ලාදේශයේ එය 11% ක් , අපේ රටේ එම ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2.8% ක්. අපට අවශ්‍ය 2030 වනවිට එය 10% ක් දක්වාවත් වර්ධනය කරන්න. එය පාසල් මට්ටමේ පටන්ම දැනුවත් කිරීම් හා ප්‍රායෝගික ක්‍රියාවේ යෙදවීම් හරහා ආර්ම්භ කිරීමට තමයි අප මෙම පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ආරම්භ කරන්නෙ. මේ වසර තුළ පාසල් 300 ක එම කව ආරම්භ කරමින් 2024 වසර අවසාන වනවිට පාසල් 3000 ක් වර්ධනය කිරීම තමයි අපේ ඉලක්කය "
මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව රටතුළ ක්‍රියාත්මක කිරීමෙන් රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපන හදාරන සිසු පරපුරක් වෙනුවට නිර්මාණශීලී ,ලෝකය ජයගත හැකි රැකියා උත්පාදනය කරන ව්‍යවසායක සිසු පරපුරක් සමාජයට දායාද කිරීමට පාසැල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව වලට හැකි වනු ඇත.