Friday, October 25, 2024
Follow Us
දකුණේ ධීවර වරායන් රැසක් සංවර්ධනයට

සංචාරක ව්‍යාපාරය සඳහා කිරින්ද හම්බන්තොට හා දකුණේ ධීවර වරායන් රැසක් සංවර්ධනය කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

පසුගියදා (9) දකුණු පළාතේ ධීවර වරායවල සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙම සංචාරය මගින් මීට මාස තුනකට පෙර සිදුකරන ලද සංචාරයේ දී වරාය සංවර්ධනය උදෙසා තමා ලබාදුන් උපදෙස්හි පසු විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කළ අමාත්‍යවරයා පළමුවෙන් කිරින්ද ධීවර වරායේ සංචාරය කළේය.

ධීවරයන්ට තම කර්මාන්තය කරගෙන යාමට කිරින්ද වරායෙන් මුහුදු යාමට තිබූ බාධා ඉවත්කොට මුහුදු යාමට අවශ්‍ය පසුබිම සකසා තිබේ දැයි සොයා බලන ලදී. වරාය බේසම වැලිවලින් පිරී ඇති බවත් දැනට වැලි ඉවත් කිරීම සිදු කළ ද එය කඩිනම් කළ යුතු බවත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් කැණීම් කොට ගොඩ ගසා ඇති වැලි කඩිනමින් ඉවත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

දැනට වැලි ඉවත් කිරීමට යොදා ගන්නා එක්ස්කැවේටර් යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තවද, කිරින්ද ධීවර වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඉන්ධන පිරවුම්හලෙහි පොම්පය අක්‍රීයව ඇති බැවින් ඒ සඳහා නව පොම්පයක් ලබාදීමට කටයුතු කරන ලෙස ද පැවසූ අමාත්‍යවරයා පසුගිය සංචාරයේදී මසුන් ගොඩබාන ස්ථානයේ කොන්ක්‍රීට් තට්ටු ගැලවී ඇතැයි නිරීක්ෂණය වූ බැවින් එය අලුත්වැඩියා කරන ලෙස තමා උපදෙස් දුන් බවද මේ වන විට එම ස්ථානය අලුත්වැඩියා කිරීම සම්බන්ධව සිය ප්‍රශංසාව පිරිනැමුවේය.