Friday, October 25, 2024
Follow Us
පාසල් දරුවන් අතර දේශීය වෛද්‍යක්‍රම ප්‍රචලිත කිරීමට දීප ව්‍යාප්ත වැඩසටහනක්

නීරෝගීමත් ජනතාවගෙන් සපිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා රටේ අනාගතයවන් දරුකැළ වෙත දේශීය වෛද්‍ය ක්‍රමයේ මහිමය හා විශිෂ්ඨත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් “සුව ධරණී-සිසු නැණ දිරිය ”නමින් අන්තර් පාසැල් දීප ව්‍යාප්ත ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර තිබේ.



දේශීය ‌වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල 9,10,11 වසර වල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පවත්වනු ලැබේ
එම තරඟාවලිය වට හතරකින් සමන්විත වන අතර එමඟින් හෙළ වෙදකමේ ඉතිහාසය හා එහි පැවැත්ම පිළිබඳ කරුණු විමසමින් දැනුවත් භාවයක් ලබා දීම, හෙළ වෙදකමේ අභිමානය පාසල් ළමුන් තුළ ජනිත කරවීම හා එය අනාගතය වෙත සම්ප්‍රේෂණය කිරීම, පාසල් ළමුන් ස්වාභාවික ආහාර පාන හා දේශීය ඖෂධ භාවිතය සඳහා හුරු කරවීම මෙන්ම දේශිය වෛද්‍ය ක්‍රම පිළිබඳව උසස් අධ්‍යාපනික විෂයයන් හා අවස්ථා සඳහා පාසල් ළමුන්ගේ උනන්දුව වැඩිකිරීම මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වනු ලබයි.

මෙම “සුව ධරණී-සිසු නැණ දිරිය ” ප්‍රශ්න විචාරාත්ම වැඩසටහනට සමඟාමීව ඒ සඳහා සහභාගී වන පාසල් වෙත ඔසු උයන් පිහිටුවීම උදෙසා ඔසු පැළ ලබා දීම,අවශ්‍ය තාක්ෂණික දැණුම අවබෝධය ලබා දීම ද දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි.
මෙම තරඟාවලියේ සමාරම්භක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන 2023 ජුනි මස 20 වන දින ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලබන අතර එහි දී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ බණ්ඩාරණායක විද්‍යාලය තරඟ වැදීමට නියමිතය.