Friday, October 25, 2024
Follow Us
මෙරට ජනතාවගෙන් හතරෙන් එකකට ප්‍රෙෂර්

මැදිවියේ පුද්ගලයන්ගේ හදිසියේ සිදුවන අහේතුක මරණවලට කලින් හඳුනා නොගත් අධි රුධිර පීඩන තත්ත්වය හේතු විය හැකි බැවින් වහාම ළඟම රෝහල වෙත හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් රුධිර පීඩනය මැන බලා ගන්නා ලෙස අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා දැනුම් දෙයි.

රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන සැඟවුණු මාරයෙක් (silent killer) ලෙස අධි රුධිර පීඩනය මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් වෙලාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

යම් හෙයකින් පුද්ගලයකුට අධි රුධිර පීඩන තත්ත්වය පැවතිය හොත් පෙනීමේ දුර්වලතා, හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍ය වීම, පාදවල ලේ ධමනි තදවීම, ආඝාතය හෙවත් අංශභාගය ඇතුළු බරපතළ තත්ත්වයේ රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි මහාචාර්යවරයා අනතුරු අඟවයි.

අධිරුධිර පීඩන රෝග තත්ත්වය පුද්ගලයකුට ඇති බව බොහෝවිට හඳුනාගන්නේ වෙනත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවන අවස්ථාවේදී බවත් කාලයක් පුරා සිරුර තුළ අධි රුධිර පීඩන තත්ත්වයක් පැවතියහොත් සිරුරේ සෙසු අවයවවලට එහි බලපෑමෙන් හානි වීමේ ඉහළ හැකියාවක් ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.

ඕනෑම පුද්ගලයකුට තමන්ගේ දෛනික චර්යා රටාව වෙනස් කර ගැනීම මගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් මිදී සාමාන්‍ය නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැකි බැවින් මෙම රෝග තත්ත්වය කල්තියා හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස මහාචාර්යවරයා ඉල්ලීමක් කරයි.

මහාචාර්ය උදය රළපනාව

Dinamina