Friday, October 25, 2024
Follow Us
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය කෝප් සභාපතිගේ දැඩි අප්‍රසාදයට ලක් වෙයි

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ 03 වැනි අවස්ථාව මෙය වුවද, පවතින ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබා දී නොමැතිවීම පිළිබඳව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කළේය.

රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් මෙම ආයතනයේ ක්‍රියා කලාපයට එරෙහිව ලැබී ඇති බවත් කෝප් සභාපතිවරයා සදහන් කළේය.

කෝප් රැස්වීමේදී භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ පගතිය කෝප් කමිටුව සමාලෝචනය පසුගියදා පැවති අතර එහිදී සභාපතිවරයාගේ දැඩි අවධානයට ලක්විය.

කැණීම් කරන ලද ඉඩම් නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් සභාපතිවරයාගේ දැඩි දෝෂදර්ෂණයට ලක්විය. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය සිදු කිරීමට නොහැකි වී ඇති බව නිලධාරීහු පැවසුහ. කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම සදහා අයකරන ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීමට මෙහිදී උපදෙස් දෙන ලදී.

බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ ගැටලු

කාර්යාංශය විසින් බලපත්‍ර නිකුත් කිරීමේ අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පනතට අනුකූල නොවන බවත් අත්තනෝමතික බවත් මෙහිදී සාකච්ඡා විය. නිකුත් කරන ලද බලපත්‍රය නිසි ක්‍රමවේදයකින් තොරව අත්තනෝමතික ලෙස අවලංගු කර ඇති බවත් මෙහිදී අක්‍රමිකතා සිදුව ඇති බවට නිරීක්ෂණය වන බවත් අනාවරණය විය. බලපතර සම නිකුත් කිරීමට කාර්යාංශයට බලතල ලබාදී ඇතත් තවමත් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයදුම්පත් යොමු කරමින් පවතින බවත් අනාවරණය විය. මෙමගින් බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වීම පිළිබඳව කමිටු සාමාජිකයෝ දැඩි කනස්සල්ල පළ කළහ.

කෝප් සභාපති ස්වාධීන නීති නිලධාරියෙකු පත් කිරීමට නියෝග කරයි

කාර්යාංශය තුළ සිදුවන සියලු අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන නීති නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි නියෝගයක් ලබා දුන්නේය. තවද, ආයතනය තුළ සිදුවන කටයුතු සොයා බැලීමට දැනටමත් කෝප් කමිටුව විසින් පත් කර ඇති අනු කමිටුව ක්‍රියාත්මක කිරීමට ද අවශ්‍ය උපදෙස් දුන්නේය.