Friday, October 25, 2024
Follow Us
ආර්ථික අර්බුදයේ බලපෑම ඉදිකිරීම් ක්ෂේත්‍රය මුදවා ගැනීමට සාකච්ඡා

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුදවා ගැනීමට අවශ්‍ය මූලික සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 24 වැනි දා රැස්වූ අවස්ථාවේදීය.
මේ සඳහා ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සුළු, මධ්‍ය සහ මහා පරිමාණ ඉදිකිරීම් ආයතන නියෝජනය කරන සංගම් වල නියෝජිතයන්, වාස්තු විද්‍යා සංගම්, විවිධ ඉංජිනේරු සංගම්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (CIDA) අධිකාරිය, ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ වානිජ මණ්ඩලය ඇතුළු සංවිධාන රාශියක නියෝජිතයන් සහභාගී විය.

දළ ජාතික නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයන් ලබා දෙමින් සේවා අංශයේ ඉහළම වර්ධනය පෙන්වූ මෙම අංශයේ බිඳ වැටීම තුළ රැකියා ලක්‍ෂ 10ක් අහිමිවීම, ආයතන කඩා වැටීම, වත්කම් විනාශ වීම, වෘත්තිකයන් රට හැර යාම යන ගැටලු ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට පුහුණු අවස්ථා සඳහා ආයතන නොමැති වීම වැනි ගැටලු ද ඇති වී ඇති බව මෙහිදී හඳුනාගන්නා ලදී. එම ගැටලු සඳහා විසඳුම් යෝජනා ද දිගින් දිගටම සාකච්ඡා වූ අතර ගැටලු 50කින් සමන්විත ලේඛනයක් සහභාගී වූ පාර්ශවකරුවන් විසින් කමිටුව වෙත ඉදිරිපත් කිරීමද එදින සිදු විය.
ඒ අනුව පවතින ගැටලු, කෙටි, මධ්‍යම, දිගුකාලීන වශයෙන් ද, විසඳීමට මැදිහත් විය යුතු ආයතන වශයෙන් ද වර්ගීකරණය කර, මූලික ක්ෂේත්‍ර 10කට සීමා වන පරිදි සාරාංශ කර සති 2ක් තුළ ඉදිරිපත් කිරීමටත්, ඉන් පසු ඒ ඒ වගකිවයුතු ආයතන සමඟ මුහුණට මුහුණ මුණගැසී විසඳුම් තීරණ ගැනීමටත් මෙහිදී තීරණය විය.

එසේම ඉදිකිරීම් ද්‍රව්‍ය මිල වහාම පහත හෙළීම පිළිබඳව සහ වෙළඳ, වාණිජ අමාත්‍යාංශය මැදිහත්ව ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට එම අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීමට තීරණය වූ අතර ඊළඟ රැස්වීමට පෙර හඳුනාගන්නා ලද ප්‍රමුඛතා අනුව රාජ්‍ය ආයතන හා කර්මාන්ත නියෝජිතයන් ගෙන්වීමටත් තීරණය කරන ලදී.