Friday, October 25, 2024
Follow Us
ඩෙංගු පාලනයට සෑම පාර්ශවයක දැඩි කැපවීමකින් අවශ්‍යයි

ඩෙංගු   මරණ   අවම කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින්  කටයුතු කරමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය පවසයි.  ඩෙංගු වර්තමාන තත්ත්වය හා පාලනය සම්බන්ධයෙන්  ඊයේ (28) පැවති  සාකච්ජාවකදී  ඒ මහත්මිය මේ බව සඳහන් කළාය. 

මේ වසරේ  අද වන විට (05/28)  ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 38,000ක් ඉක්මවා වාර්තාවී තිබේ. එමෙන්ම  මේ වන විට ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් තිබේ.

 ඩෙංගු යනු නිශ්චිත හෝ විශේෂිත  ප්‍රතිකාරයක් ඇති රෝගයක් නොවේ. ඒ ඒ පුද්ගලයා ඒ ඒ මොහොතට පෙන්වන රෝග ලක්ෂණ අනුව අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම රෝහලේදී සිදුවේ . නියමිත වේලාවට අදාළ ප්‍රතිකාර ලබා නොගන්නා විට ඩෙංගු නිසා බරපතල සංකූලතා හෝ මරණය පවා ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

එබැවින් කවර හේතුවක් නිසා හෝ පැය 48  ක් උණ පවතී නම් වහාම සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍යය. ගැබිණියක නම් උණ දැනුණු පළමු අවස්ථාවේදී ම  වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එවිට තත්ත්වය පරීක්ෂා කර රෝගියා රෝහල් ගත කිරීමට හෝ අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදු කර ගෙන නිසි පියවර අනුව ඉදිරි කටයුතු සිදු කර ගැනීමට   වෛද්‍යවරයා විසින් එම රෝගියාව යොමු  කරනු ඇත.

ඩෙංගු නිසා සිදුවූ ඇතැම්  මරණ සම්බන්ධයෙන් සලකා බලන විට පෙනී යන්නේ වෛද්‍යවරයෙක් විසින් රෝහලක් වෙත  යොමු කළ ද ඔවුන් රෝහල් වෙත නොපැමිණ කල් බලමින් සිටීම නිසා එම අවාසනාවන්ත  තත්වය උද්ගත  වී ඇති බවයි.  මෙසේ ප්‍රමාද වී රෝහල් ගත වන පුද්ගලයින් සම්බන්ධව  ජීවිත අවදානම ඉහළ බව ද ඇය පෙන්වා දෙයි. යම් අයෙකු ඩෙංගු කම්පන තත්ත්වයේ පැය 10 ක් පමණ සිටීමෙන් අනතුරුව රෝහලට පැමිණිය ද එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීම ඉතා අසීරු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය මෙහිදී  අනාවරණ කළාය.

මෙහිදී අදහස් දක්වමින්   ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය  විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේ වෙනත් වසරවලදී සාමාන්‍යයෙන් මෝසම් වැසි කාල සීමාවල මාසයක් තුළ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 450 -500 අතර වන බවයි.  එහෙත් මේ වසරේ සමාන  කාල සීමාවල මාසයකට රෝගීන් 1000 – 1500 ක් පමණ වාර්තාවීම වසර 2017 වැනි ඩෙංගු අධි වසංගතයකට රට ගමන් කිරීමේ  පෙර මග සලකුණු ඇති විය හැකි බව ඒ මහත්මිය සඳහන් කරයි. මෙය මනාලෙස අවබෝධ කර ගනිමින් එබඳු තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීම සැමදෙනාගේ ම වගකීමක් බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.