Friday, October 25, 2024
Follow Us
උතුරේ පුරාවිද්‍යා ප්‍රශ්න ගැන එම ප්‍රදේශයේ දමිළ මන්ත්‍රීවරුන් සමඟ නැවත සාකච්ඡා

උතුරේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ වරින්වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා, විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පැවැත්විණි.

කුරුන්දිමලේ සහ වඩුකනාරිවල තිබෙන නීතිමය කටයුතු වලින් අනතුරුව සියලු දෙනාටම එකඟ විය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය. එසේම මෙහි දී ශිවන් කෝවිලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර එහි මැනුම් කටයුතු තාවකාලිකව නතර කිරීමටද එකඟතාවයක් ඇතිවිය.

මෙහි දී දෙපාර්ශවයේම එකඟතාව ඇතිව යම් යම් තීන්දු තීරණ වලට එළඹීමට ද හැකියාව ලැබිණී. එසේම ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ බලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

සාකච්ඡාව අවසානයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින්, පුරාවිද්‍යා සාධක යනු ජාතියකට හෝ ආගමකට අයත් දෙයක් නොවන අතර එය මුළු රටටම පමණක් නොව ලෝකයටම අයිති සම්පත් බවත් අපේ රටේ ගමන් මග පිළිබඳ ඉතිහාසය මේ මගින් පිළිබිඹු කරන බවත් ජාති ආගම් බැහැර කොට මිනිසුන් ලෙස එකිනෙකා අතර අවබෝධයක් ගෞරවයක් ඇතිව, අපි සියලු දෙනාම එකට එක් වී කටයුතු කළ හැකි නම් එය රට වෙනුවෙන් ගත හැකි වටිනා තීරණයක් බවත් ප්‍රකාශ කළේය.
ප්‍රශ්න ඇතිකර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම අහිංසක ජනතාව දැඩි පීඩනයකට අපහසුතාවයකට ලක් වන බවත් එම නිසා දෙපිරිසම සැකයෙන් තොරව අවබෝධයෙන් මෙම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම රටක් වශයෙන් බොහෝ වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.