Friday, October 25, 2024
Follow Us
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අක්‍රමිකතා රැසක් හෙළි වෙයි

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරිපාලන ගැටලු ඇතුළු අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි


• මැණික් කර්මාන්තය නියාමනය කිරීමේ එකම බලධාරයා වන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තුන්වන පාර්ශව සමග ඍජුව මැණීක් ගැරීමේ ව්‍යපෘතිවල නියැලීම නොකළ යුතු බවට අවධාරණය කෙරේ
• අධිකාරිය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවන පසුබිමක පසුගිය වසර 10ක කාල සීමාව තුළ වාර්තාවී ඇති සියලු අක්‍රමිතා ඇතුළු කටයුතු පිළිබද විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසත් දැනුම් දෙයි
• මැණික් ගැරීම සදහා බලපත්‍ර ලබා දීමේදී ඉහළ විනිවිදබවකින් යුතු ක්‍රමවේදයක් සකස් කරන ලෙස අධිකාරියට නියෝග
• නිලධාරියෙකුගේ විෂමාචාර ක්‍රියා හේතුවෙන් වැඩතහනමකට ලක්ව මූලික විමර්ශනයක් පවත්වන අතරතුර හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට නිදහස් කිරීම පිළිබද විමර්ශනයක්
• ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව දැඩි අප්‍රසාදය
• රු. මිලියන 19 ක වියදමින් ගිණුම් මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීමට පෞද්ලික ආයතනයක් සමග ගිවිසුම්ගත වුවද තවමත් එම කටයුතු නිමා වී නොමැති බව හෙළිවෙයි
• ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රු. මිලියන 16කට ආසන්න ඇප මුදලක් අහිමි වීම පිළිබද වාර්තාවක් කැදවයි
• අධිකාරි‍ය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම නිසා රු මිලියන 36ක අලාභයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.05.24 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව), 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කැඳවා තිබිණි.
මෙහිදී පහත සදහන් කරුණු පිළිබදව විමර්ශන කටයුතු සිදුවිය.
මෙරට තුළ මැණික් කර්මාන්තය නියාමනය කිරීමේ එකම බලධරයා වන අධිකාරිය ව්‍යාපාරික කටයුතුවලින් ඈත් විය යුතු බව අවධාරණය කරයි
අධිකාරිය තුන්වන පාර්ශව සමග ඍජුව මැණීක් ගැරීමේ ව්‍යපෘතිවල නියැලීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නේය. මැණික් හා ස්වර්ණාභරණ පනත අනුව මෙරට තුළ මැණික් කර්මාන්තය නියාමනය කිරීමේ එකම බලධාරයා වන බැවින් එම අධිකාරිය තුන්වන පාර්ශව සමග ඍජුව මැණීක් ගැරීමේ ව්‍යපෘතිවල නියැලීම නොකළ යුතු බවට කමිටුව විසින් අවධාරණය කරන ලදී.


බලපත්‍ර ලබා දීමේදී ඉහළ විනිවිදබවකින් යුතු ක්‍රමවේදයක් සකස් කරන ලෙස නිර්දේශ

මැණික් පතල් සදහා බලපත්‍ර ලබා දීමේදී වාර්තාවී ඇති අක්‍රමිතා රැසක් පිළිබද කමිටු සාමාජිකයෝ කරුණු දැක්වූහ. ඇතැම් දූෂිත නිලධාරින් තම හිතවතුන්ට පතල් ලබා දීම නිසා ඉන් ලැබිය යුතු නිසි බදු ආදායමද රජයට අහිමිව ඇති බව පෙන්වා දුන්හ. අධිකාරිය බලපත්‍ර ලබා දීමේදී ඉහළ විනිවිදබවකින් යුතු ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කරන ලදී.
දිගින් දිගටම අධිකාරියට චෝදනා එල්ලවන පසුබිමක පසුගිය වසර 10ක වාර්තාවී ඇති අක්‍රමිතා ඇතුළු කටයුතු පිළිබද විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවන පසුබිමක පසුගිය වසර 10ක කාල සීමාව අධිකාරිය එළඹි ගිවිසුම් වාර්තාවී ඇති අක්‍රමිතා ඇතුළු කටයුතු පිළිබද විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසත් අධිකාරිය නිවැරදි මාවතට ගැනීම සදහා නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත් දැනුම් දුන්නේය. අවශ්‍ය නම් ජේෂ්ඨ විශ්‍රාමික විගණන නිලධාරියෙකුගේ ද සහය ලබා ගන්නා ලෙස කමිටු සභාපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.
ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබද දැඩි අප්‍රසාදය
2021 වසරේ මෙරටින් හමුවූ ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. වර්තමනයේ එහි ඇත්තේ කෞතුක වටිනාකමක් බවද මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව අදාළ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණත්වය පිළිබද ගැටලුවක් පවතින බව විගණකාධිපතිවරයා ඇතුළු කමිටුව කරුණු පෙන්වා දුන්හ.

ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැතිවීම
අධිකාරියේ ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැතිවීම පිළිබදව අවධානය යොමු විය. දැනට සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයාද පරිපාලන සේවයේ නිලධාරියෙකු වන බවත් ලේකම්වරිය පවසා සිටියාය. මේ අනුව ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු කඩිනමින් පත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස කමිටුව විසින් උපදෙස් දෙන ලදී. පවතින වැටුප් තල ඒ සදහා බාධාවක් වේ නම් ඒ සදහා ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා පියවර ගැනීමට කෝප් කමිටුව මැදිහත් වන බවද කමිටු සභාපතිවරයා පැවසීය.
අධිකාරි‍ය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවයි
අධිකාරි‍ය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩිමිලක් ඉදිරිපත් කර තිබූ ගොඩනැගිල්ලකට මාසිකව රු මිලියන 4.5 ක කුලී පදනම යටතේ 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලයකට ගිවිසුම් ගත වීම පිළිබදව ද විමර්ශනය කරන ලදී. පෞද්ගලික සමාගමක් මගින් අධිකාරිය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ආසන්නයේ සිදුකළ ඉදිකිරීම් කටයුතු නිසා අධිකාරියේ ගොඩනැගිල්ලට හානි සිදුවීමෙන් ඇති වූ අනාරක්ෂික තත්ත්වය මත මෙසේ සිදුකොට ඇති බවද හෙළිවිය. මේ අනුව අඩු ලංසුව ඉදිරිපත් කළ ආයතනය තෝරා නොගැනීම නිසා කුලියට ගත් වසර දෙකට රු මිලියන 36ක වැඩිපුර ගෙවිමක් කිරීමට සිදුවන බවද විගණකාධිපතිවරයා පෙන්වා දෙන ලදී. එසේම අධිකාරියේ ගොඩනැගිල්ලට හානි සිදුවීමට හේතුවූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවද එකී සමාගමෙන් රු. මිලියන 152ක මුදලක් අයකරගත යුතු බවද අනාවරණය විය. මේ සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිරීක්ෂණය වන බැවින් විධිමත් විමර්ශනයක් කර සති 2ක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.
ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කුලී පදනම යටතේ වෙළද කුටි ලබා ගැනීමේදී හිමිවිය යුතු රු. මිලියන 16කට ආසන්න ඇප මුදලක් තවමත් නොලැබීම
පෞද්ගලික සමාගමක් සහ අධිකාරිය අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව රු. මිලියන 16කට ආසන්න ඇප මුදලකට ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර 35 ක් ලබා ගෙන තිබියදී 2021 වසරේදී ගිවිසුම අවසන් වුවද එක් වෙළද කුටියක් භාර නොදීම හේතුවෙන් ඇප මුදල් නිදහස් කරගැනීමට නොහැකිව තිබිණි.මීට අදාළව නඩුකරයක්ද පවතින බවත් මෙහිදී හෙළී විය. මේ සම්බන්ධයෙන් නිලධාරීන් පැහැදිළි පිළිතුරු ලබාදීමට අපොහොසත් වූ අතර වහාම විමර්ශනය කර ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කලේය.
රු. මිලියන 19 ක වියදමින් ගිණුම් මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීමට ගිවිසුම්ගත වුවද තවමත් එම කටයුතු නිමා වී නොතිබීම
රු. මිලියන 19 ක පිරිවැයකට ආයතනයේ භාවිතය සදහා ගිණුම් මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීමට පෞද්ලික ආයතනයක් සමග ගිවිසුම්ගත වුවද තවමත් එම කටයුතු නිමා වී නොතිබීම පිළිබඳව අවධානය යොමුවිය. එම සමාගමට 2016 වසරේ සිට 2021 දක්වා රු මිලියන 10 කට ආසන්න මුදලක් ගෙවා තිබියදී තවමත් මෙම කාර්ය ඉටුකර නොතිබීම පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කමිටුව මේ පිළිබදව වහාම සොයා බලා වාර්තා කරන ලෙස ලේකම්වරියට දැනුම් දුන්නේය.

විෂමාචාර චෝදනා ලැබ වැඩතහනමකට ලක්වු නිලධාරියා විධිමත් පරීක්ෂණයකින් තොරව ‍නැවත සේවයේ පිහිටුවීම
අධ්‍යක්ෂ (ඉඩම් කැනිම්) නිලධාරීයාගේ විෂමාචාර ක්‍රියා හේතුවෙන් වැඩතහනමකට ලක්ව මූලික විමර්ශනයක් පවත්වන අතරතුර අභ්‍යන්තර විගණක විසින් විධිමත් පරීක්ෂණයකින් තොරව ඔහුව නිදහස් කොට ඇති බවද මෙහිදී අනාවරණය විය. එම චෝදනා ලැබූ නිලධාරියා හිටපු සභාපතිවරයාගෙන් කළ අභියාචනයක් හමුවේ අභ්‍යන්තර විගණක මෙම තීරණය ගෙන ඇති බව ද හෙළිවිය. කිසිදු බලපෑමකින් තොරව මේ පිළිබද සොයා බලා තීරණ ගන්නා ලෙස කෝප් කමිටුව මෙහිදී ලේකම්වරියට දැනුම් දුන්නේය.