Friday, October 25, 2024
Follow Us
උපකුලපතිවරුන්ගේ ඉල්ලීම පරිදි සරසවිවල ආරක්ෂාව තර කෙරේ

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කර දෙන්නැයි එහි උපකුලපතිවරු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කරති.

විශේෂයෙන් විශ්වවිද්‍යාල අසල, ශිෂ්‍ය නේවාසිකාගාර අසල ආරක්ෂාව තවදුරටත් වැඩි කර දෙන ලෙස මෙසේ උපකුලපතිවරු ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. එමෙන්ම විශ්වවිද්‍යාල අසල රාත්‍රී මුර සංචාර වැඩි කරන ලෙසද ඉල්ලීමක් කර ඇත. මෙම විශ්වවිද්‍යාලවල ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉකුත් 16, 17 සහ 18 දිනවල මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එහි උපකුලපතිවරු සහ මහාචාර්යවරු පිරිසක් අමාත්‍යංශයට කැඳවා තිබුණි. විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති මේ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරිහු ද සහභාගී වූහ.

එහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ඉල්ලා ඇත්තේ විශේෂයෙන් ශිෂ්‍ය නේවාසිකාර අසල ආරක්ෂාව තව දුරටත් තර කර දෙන ලෙසයි. මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ හොරකම් වැඩි වී ඇති බව ද මෙහි දී උපකුලපතිවරයා සහ මහාචර්යවරු සඳහන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමැතිවරයා විශ්වවිද්‍යාලය අසල මුර සංචාර වැඩි කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය. විශ්වවිද්‍යාලවල හොරකම් මර්දනය කිරීමට ආරක්ෂාව තහවරු කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග ගන්නැයිද ඇමැතිවරයා නියෝග කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කථිකාචාර්ය උපුල් සුබසිංහ මහතා ඇතුළු ආචාර්යවරු පිරිසක් ද ඇමැතිවරයා හමු වූ අතර ඔවුහුද සිසු සිසුන්ගේ ආරක්ෂාව තර කර දෙන ලෙස ඉල්ලීමක් කළහ. එම උපකුලපතිවරයා ද ඉල්ලා සිටියේ ජයවර්ධනපුර ශිෂ්‍යයාවන්ගේ නේවසිකාගාර අසල ආරක්ෂක තත්ත්වය වැඩි කර දෙන ලෙසයි. එහි දී විශ්වවිද්‍යාලය අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමටද ඇමැතිවරයා නියෝග කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යන් පෙරට වඩා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා උනන්දුවක් දක්වන බව ද මෙහි දී උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමු වූ අතර මෙහිදීද විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කෙරිණි. තවද ටිරාන් අලස් මහතා සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ගැන මෙහි දී විමසීමක් කළේය. එහි දී උපකුලපතිවරිය පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට හැකි වූ බවයි. තවද විශ්වවිද්‍යාල පරිශ්‍රයේ හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බව ද උපකුලපතිවරිය සඳහන් කර සිටියාය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කරන මෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ටිරාන් අලස් මහතා ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.