Friday, October 25, 2024
Follow Us
දින 20කදී ඩෙංගු රෝගීන් 6000කට වැඩි වාර්තාවීමක්

මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,745 ක් බවයි එම ඒකකය පැවසුවේ.

ඉන් රෝගීන් 7,617 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේදීයි. මාර්තු මාසයේ රෝගීන් 6,419 දෙනෙකු ද, පෙබරවාරි මාසයේදී රෝගීන් 6,709 දෙනෙකු ද හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.

මෙම වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදීයි. එලෙස හඳුනා ගැනුණු රෝගීන් ප්‍රමාණය 8,963 ක්.

කෙසේවෙතත් 2022 වසරේ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 76,689 ක්.

මෙරට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් තවදුරටත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,035 ක් වනවා.

මේ, දිවයිනේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ.

දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඩෙංගු ව්‍යාප්ත අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක සඳහන් කළේ.
ඩෙංගු රෝගය ව්‍යාප්තිය මර්ධනය සඳහා වගකිව යුතු ඇතැම් පාර්ශවවලින් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

 

-Neth