Friday, October 25, 2024
Follow Us
ඊශ්‍රායලයේ රැකියා යන පිරිසකට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් 23 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරිණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් මෙම ටිකට්පත් ලබාදීම සිදු වූ අතර මෙම පිරිසට කාන්තාවන් 19 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 4 දෙනෙකු අයත් වේ.
මෙම කණ්ඩායම ලබන 22 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සඳහා එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායලය බලා පිටත්ව යන පිරිස අමතමින්, තමන් උපයාගන්නා වැටුප් හැමවිට නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට එවන ලෙසත්, එසේ එවීමෙන් රට සංවර්ධනය කිරීම සඳහා තමන්ට ලැබී ඇති අවස්ථාව යොදාගන්නා ලෙසත්, එම පිරිසගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම එරටදී ලබන වැටුප් හා අත්දැකීම් මෙරට ව්‍යවසායකයෙකු ලෙස ගොඩනැගීම සඳහා ඉවහල් කරගැනීම ඔවුන්ගේ යුතුකම බවද ප්‍රකාශ කළේය.

2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 319 කු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.

එම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.