Friday, October 25, 2024
Follow Us
කිතුල් කර්මාන්තයට රිලවුන්ගෙන් දැඩි තර්ජනයක්

රිළවුන් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව කිතුල් කර්මාන්තකරුවන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.

අමාත්‍යවරයා ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධව සොයා බැලීම සඳහා ගම්මාන රැසකට ගියඅවස්ථාවෙදී ඔවුන් මේ සම්බන්ධව පැමිණිලි කර ඇත.එහිදී මෙම සෑම ගමකම කිතුල් කර්මාන්තකරුවන් කිතූල් කර්මාන්තයට රිළවුන්ගෙන් එල්ල වී ඇතිබලපෑම සම්බන්ධව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කෙරිණි.

තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ලබා ගැනීමට සිදු කරන කටයුතු රිළවුන් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක්හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල්මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත් , රිළවුන් දහස් ගණනක් මේ වනවිට එමප්‍රදේශවල සැරිසරමින් මෙම විනාශය කරන බවත් එම කර්මාන්තකරුවන් පෙන්වා දී තිබේ.

එසේම ඇහැලියගොඩ ප්‍රදේශයේ හා රත්නපුර ප්‍රදේශවල කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන මගින් ක්‍රියාත්මක කර තිබෙන කිතුල් සංවර්ධනව්‍යාපෘති අමාත්‍යවරයා නිරීක්ෂණය කෙරිණි. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තරඅරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියකි.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා උතුරු කොරියාව ඇතුලු රටවල් හතරකට අපනයනය කරනු ලබයි. මේ වනවිට රටේ සමස්ත කිතුල් කර්මාන්තය තුළින් මෙරටටලැබෙන ආදායම රුපියල් මිලියන 50,000කට අධික වේ.

රිළවුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ, චීනයේ පුද්ගලික සමාගමක් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන්ලබා දෙන ලෙස ඉල්ලිමක් කර ඇති බවයි. නමුත් ඊට ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩපිළිවෙල නැවතී ඇතත්, පවතින නෛතික කටයුතු විසදා ගැනීමෙන් අනතුරුව එම වැඩපිළිවෙළ යළි අරඹන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

රිළවුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස අපි පරිසර සංවිධානවලින් ඉල්ලීමක් කළා. ඔවුන් දුන් විසඳුම් තමයි වගාවන්වට කර සාරි එල්ලීම, රිළවුන් වඳ සැත්කම්වලට ලක් කිරීම, උපත් පාලන ක්‍රම හඳුන්වා දීම වගේ දේවල්. ඒ වගේම සමහරු කිව්වා ගොවීන් වගා කරන සෑම ගොවිපළකින්ම අක්කර භාගයක් රිළවුන්ට කෑම සඳහා වෙන් කරන්න කියලා.

මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේවල් නොවෙයි. නමුත් අද මුළු රටේම විවිධ වගාවන්ට රිළවුන්ගෙන් එල්ල වී ඇති තර්ජනය දෙස බලන විට තව ටිකකාලයකින් මිනිස්සුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වේවි. ඒ නිසා මෙම ගැටලුවට කුමක් හෝ විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා. වාර්ෂිකව රිළවුන් ගෙන් සිදුවන හානිය නිසා මෙරට වගාවන්වල හානියේ වටිනාකම රුපියල් මිලියන 31,000 ඉක්මවන බව කරන ලද ඇස්තමේන්තුවලින් අනාවරණයවෙනවා. කොහොම වුනත් රිළාගහනය පාලනය කරන්න හොඳින් හෝ නරකින් යම් වැඩ පිළිවෙළක් අපිට රජය වශයෙන් අනුගමනය කරන්න සිදුවෙනවා යැයිද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.