Friday, October 25, 2024
Follow Us
සිසුවියන් පිරිසකට ලිංගික අතවර කළ ගුරා රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (12) නියෝග කර තිබේ.

කළුතර උතුර, සුබසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි අයෙකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

කළුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන්ට ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ලද නිර්දේශ මත බන්ධනාගාර ගතකර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා සිටීමෙන් පසු ලබන මැයි 15 දා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ මහතා සඳහන් කර තිබෙන්නේ  සිය එල්ලවී ඇති චෝදනා සැකකරුගේ බිරිඳ විසින් ගොතා එවන ලද එකක් බවත්, සිය සේවාදායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.

නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතයි.