Friday, October 25, 2024
Follow Us
ව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලට එරෙහිව පරීක්ෂණ ඇරඹේ

කුඩා දරු දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් මුහුණු පොතේ පෝස්ටු (posts) පළ කරනු ලබන පුද්ගලයන් සහ එහි පිටු (Facebok Pages) පවත්වාගෙන යන්නන් සම්බන්ධව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ෆේස්බුක් සමාජ ජාලය ආශ්‍රිතව කුඩා ළමයින්ට සහ කාන්තාවන්ට අපහාස සිදුකරමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටු විශාල ප්‍රමාණයක් ඇති බවයි.

 මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරමින් එම ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් පරීක්ෂක බී.අයි.වී. ගයශ්‍රි පැවැසීය.

 කුඩා දැරියන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් මුහුණුපොතේ පෝස්ටු පළ කරනු ලැබූ පුද්ගලයකු පිළිබඳව ‘අරුණ’ පුවත්පත සිදු කළ පැමිණිල්ලෙන් පසු පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශනය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය පෙරේදා (10 වැනිදා) නියෝග කළේය.

Aruna